Last Update  :  2026-03-27 19:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුවන් හමුදා පාපැදි සවාරිය 1 දා සිට

ගුවන් හමුදා පාපැදි සවාරිය 1 දා සිට

Nisanka Sandeepani - 2019 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව 20 වැනි වරටත් සංවිධානය කරන ‘ගුවන් හමුදා පාපැදි සවාරිය’ මාර්තු මස 1, 2 සහ 3 යන දිනවලදී කොළඹ සිට පොලොන්නරුව දක්වා පැවැත්වේ. 

අබාන්ස් සහ ඬේවිඞ් පීරිස් සමාගම්වල සම අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම පාපැදි සවාරියේ පිරිමි තරගය අදියර 3 කින් සමන්විත වන අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 414 කි. ඊට සහභාගී වීමට නියමිත පාපැදිකරුවන් සංඛ්‍යාව 150 කට අධිකය. 

පිරිමි තරගයේ පළමු අදියර මාර්තු මස 1 වැනිදා පෙරවරු 8.30 ට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වී මහනුවර දක්වාත් (කි.මි. 125), දෙවැනි අදියර 2 වැනිදා මහනුවර සිට අනුරාධපුර දක්වාත් (කි. මි. 154), තෙවැනි අදියර 3 වැනිදා අනුරාධපුර සිට පොලොන්නරුව දක්වාත් (කි. මි. 135) පැමිණීමෙන් අවසන් වේ. 

ඊට සමගාමීව පැවැත්වෙන කාන්තා තරගය මාර්තු මස 3 වැනිදා පෙරවරු 8.30 ට දඹුල්ල නගරයෙන් ආරම්භ වී පොලොන්නරුව දක්වා පැමිණීමෙන් අවසන් වේ. එහි දුර කිලෝ මීටර 65 ක් වන අතර ඒ සඳහා තරගකාරිණියන් 30 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය. 

පිරිමි තරගයේ ජයග්‍රාහකයාට රුපියල් 300,000 ක මුදල් ත්‍යාගයක්ද, දෙවැනි ස්ථානයට රුපියල් 200,000 ක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 100,000 ක්ද, සිව්වැනි ස්ථානයට රුපියල් 50,000 ක්ද, පස්වැනි ස්ථානයට 30,000 ක්ද පරිදි මුදල් ත්‍යාග රැසක් පිරිනැමේ. 6 වැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථානය දක්වා එහිදී මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය. 

වයස 23 න් පහළ ශූරතාව දිනාගන්නා ක්‍රීඩකයාට රුපියල් 50,000 ක්ද, වේගවත්ම ක්‍රීඩකයාට (ස්ප්‍රින්ට් ශූරතාව) රුපියල් 50,000 ක්ද, පිරිමි කණ්ඩායම් ශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් 150,000 ක්ද, එහි අනු ශූරයන්ට රුපියල් 75,000 ක්ද පරිදි තවත් විශේෂ මුදල් ත්‍යාග රැසක් ප්‍රදානය කිරීමටද සංවිධායක කමිටුව සූදානමින් සිටියි. 

කාන්තා තරගයේ ජයග්‍රාහිකාවට රුපියල් 50,000 ක් පිරිනැමේ. එහි දෙවැනි ස්ථානයට රුපියල් 30,000 ක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 20,000 ක්ද, සිව්වැනි ස්ථානයට රුපියල් 15,000 ක්ද, පස්වැනි ස්ථානයට රුපියල් 10,000 ක්ද බැගින් පිරිනැමීමට නියමිතය. 

තරගාවලියේ වේගවත්ම ක්‍රීඩිකාවට (ස්ප්‍රින්ට් ශූරතාව) රුපියල් 10,000 ක්ද, කාන්තා කණ්ඩායම් ශූරතාව සඳහා රුපියල් 30,000 ක්ද පරිදි කාන්තා තරගයේද ප්‍රදානය කෙරෙන මුදල් ත්‍යාග රැසකි. 

තරගාවලියට සහභාගිවන සෑම තරගකරුවකුට සහ තරගකාරියකට මෙන්ම කණ්ඩායම් කලමණාකරුවන් සඳහාද රුපියල් 2000 ක සහභාගීත්ව දීමනාවක් ලබා දීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 3 වැනිදා පස්වරු 5.00 සිට හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී  ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අනුබද්ධිත පාපැදි සමාජ සහ කණ්ඩායම්වලට අයත් 2019 වසරට අදාල බලපත්‍ර හිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලිය සඳහා සහභාගි විය හැකිය. පිරිමි තරගය සඳහා අයැදුම්පත් භාර ගැනීම මේ මස 26 වැනිදාද, කාන්තා තරගය සඳහා අයැදුම්පත් භාර ගැනීම මේ මස 28 වැනිදාද නිමාවට පත්වේ. 

ගුවන් කොමදෝරු කිත්සිරි ලීලාරත්න, සාමාන්‍ය ඉන්ජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලය, ගුවන් හමුදා මූලස්ථානය, කොළඹ යන ලිපිනයට මෙන්ම slafcycling@airforce.lk  යන විද්‍යුත් ලිපිනයට හෝ 011-2343966 යන ෆැක්ස් අංකයට අයැදුම්පත් යොමු කිරීම මගින් තරගාවලිය සඳහා ලියාපදිංචි විය හැකිය. 

 


අදහස් (0)

ගුවන් හමුදා පාපැදි සවාරිය 1 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.