Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගාල්ල ග්ලැඩියේටර්ස් පළමු ජය ලබයි
එල්.පී.එල්. - 2022

ගාල්ල ග්ලැඩියේටර්ස් පළමු ජය ලබයි

editorial - 2022 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 7 වැනි තරගය ලෙස කොළඹ ස්ටාර්ස් කණ්ඩායම සහ ගාල්ල ග්ලැඩියේරටර්ස් කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට ග්ලැඩියේරටර්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී ග්ලැඩියේරටර්ස් කණ්ඩායම ලැබූ පළමු ජයග්‍රහණයද මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය ස්ටාර්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 149 ක් පමණි. ස්ටාර්ස් ඉනිම නිමාවට පත්වන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 44 කදී හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 58 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.

තරගයේ 15 වැනි ඕවරය අවසානයේ ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 99 ක් ලබා ජයග්‍රහණය සඳහා ලකුණු 76 ක් පසුපසින් සිටියේය. එම අවස්ථාවේදී ආබාධ තත්ත්වයක් හේතුවෙන් දික්වැල්ල පිටියෙන් ඉවත්ව ගිය අතර ඔහු නැවත පන්දුවට පහරදීමට පැමිණියේ 19 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී ඩොමිනික් ඩ්‍රේක්ස් දැවී යෑමෙන් අනතුරුවය.

තරමක් සෙමින් ඉනිම ඇරඹූ රබී බොපාරා, අවසන් ඕවර කිහිපයේදී වේගයෙන් ලකුණු රැස්කරමින් පන්දු 35 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 46 ක් රැස්කළේය. ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දැමීම සඳහා බොපාරාට සහාය දුන් දිනේෂ් චන්දිමාල්, පන්දු 9 කදී ලකුණු 16 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි. කෙසේ වුවත් ස්ටාර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුන්ට නොහැකි වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 174 ක් ලබාගත්තේය. ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ළහිරු උදාර පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 45 ක් රැස්කරමින් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

නුවනිඳු ප්‍රනාන්දු (29) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද උදාර සමත් විය. පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග වේගවත් ලකුණු 29 ක් රැස්කළ නුවනිඳු, ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා උදාරට අනගි සහායක් දුන්නේය.

තනුක දාබරේ (36) සහ නායක කුසල් මෙන්ඩිස් (39) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. පන්දු 27 කදී වාර්තා වූ දාබරේගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත වූ අතර පන්දු 27 කට මුහුණදුන් මෙන්ඩිස් හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසුවේය.


ගාල්ල ග්ලැඩියේටර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 174
(තනුක දාබරේ 36, කුසල් මෙන්ඩිස් 39, ළහිරු උදාර නොදැවී 45, නුවනිඳු ප්‍රනාන්දු 29, ජෙෆ්රි වැන්ඩසේ 31/2)

කොළඹ ස්ටාර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 149
(නිරෝෂන් දික්වැල්ල නොදැවී 58, රවී බොපාරා 46, දිනේෂ් චන්දිමාල් 16, වහබ් රියාස් 21/2, නුවන් ප්‍රදීප් 52/2)

 

 


අදහස් (0)

ගාල්ල ග්ලැඩියේටර්ස් පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.