Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක‍්‍රීඩාංගණ එපා, ක‍්‍රීඩකයන් හදන්න - අර්ජුන රණතුංග

ක‍්‍රීඩාංගණ එපා, ක‍්‍රීඩකයන් හදන්න - අර්ජුන රණතුංග

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


විනයගරුක පාසල් ක‍්‍රිකට් කණ්ඩායම් බිහි නොකරන්නේ නම් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තබා ගත නොහැකි බව හිටපු ටෙස්ට් ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පසුගියදා පැවැති ‘සිංගර්’ පාසල් ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින් අර්ජුන රණතුංග මහතා එසේ පැවසීය.

වසර 19 කට ඉහතදී කි‍්‍රකට් ලෝක කුසලානය ශී‍්‍ර ලංකාවට දිනා දුන් හිටපු නායකයා වැඩිදුරටත් පැවසුවේ ක‍්‍රීඩාංගණ සෑදීමට වඩා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ ආකල්ප යහපත් තත්ත්වයට ගෙන ඒම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

”පසුගිය කාලේ අපි ආයෝජනය කළේ ක‍්‍රීඩකයින්ට නෙවෙයි...මට මතකයි, මා එදා කිව්වා ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණ අපට අවශ්‍යතරම් තියෙනවා කියලා”
”නමුත් දේශපාලකයින්ගේ නම් ගහන්න, අලූතින් ක‍්‍රීඩාංගණ හදලා, ක‍්‍රිකට් පාලක මණ්ඩලය බංකොලොත් කළා. අපිට ඇත්තටම අවශ්‍ය වුණේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණ නෙවෙයි.... රුපියල් බිලියන ගණන් වියදම් කරලා ක‍්‍රීඩාංගණ හැදුවට වැඩක් නෑ අපි ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ හදන්නේ නැතිනම්” යයිද රණතුංග මහතා එම උත්සවයේදී පැවසීය.

තමන්ගේ මෑත කාලීන අත්දැකීමක් විස්තර කළ රණතුංග මහතා මෙසේද පැවසීය.
”මෙතැන ඉන්න දරුවන්ට මම ඉතා පැහැදිලිව කියනවා. කවදාවත් සල්ලිවලට ක‍්‍රීඩා කරන්න හදන්න එපා”

”මම දවසක් එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයට ඇවිදින්න ගියා. ඒ වෙලාවේ එස්. එස්. සී. ක‍්‍රීඩා සමාජයට පැමිණි දරුවෝ දෙන්නෙක් එතැන ඉන්න නිලධාරියකුගෙන් යමක් අහනවා මට ඇහුණා.”

”මම ඇවිදින එක නවත්වලා ඒ සාකච්ඡුාව ළඟට ගියා. මං ඇහුවා මොනවද ඒ ළමයි දෙන්නා කිව්වේ කියලා. එතකොට එස්. එස් සී. කී‍්‍රඩා සමාජයේ නිලධාරියා මට කිව්වා එස්. එස්. සී. ක‍්‍රීඩා සමාජයට ක‍්‍රීඩා කරන්න කීයක් ගෙවනවද කියලා ඒ ළමයි ඇහුවා කියලා”

”ඒ වෙලාවේ මම කියපු වචන මට දැන් මෙතැන කියන්න බෑ. මං කිව්ව කණට දෙකක් දීලා එළියට දාන්න කියලා. දැන් මෙතැන ඉන්න දරුවන්ට මම කියන්නේ මෙන්න මේ තත්ත්වයට වැටෙන්න එපා කියලයි” යයිද රණතුංග මහතා පැවසීය.

ශී‍්‍ර ලංකාවට ආවේණික වූ ක‍්‍රිකට් සංස්කෘතියක් තිබෙන බවත් එම කි‍්‍රකට් සංස්කෘතිය නැතිභංගස්ථාන නොකළ යුතු බවත් රණතුංග මහතා ඉල්ලා සිටී.
”එංගලන්තේ ක‍්‍රීඩකයෝ කරන්නේ මොනවද?  ඕස්ටේ‍්‍රලිියාවේ ක‍්‍රීඩකයෝ කරන්නේ මොනවද? අපිත් ඒවා කරන්න  ඕනද?...ඒ අය පච්ච කෙටුවම අපිත් ඒක කරන්න  ඕනද?”

”මං දකින්නේ මෙන්න මෙතනයි අපේ වැරැුද්ද. ඒ වැරැද්ද ක‍්‍රීඩකයන්ගේ නෙවෙයි පාලකයින්ගේ. පාලකයින් ක‍්‍රීඩකයින්ව විනයගරුකව හැදුවොත් කවදාවත් ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ”

”මතක තියා ගන්න, අපි හැමෝටම ලොක්කො වෙන්න බෑ. අද වෙලා තියෙන්නේ හැමෝම ලොක්කෝ වෙන්න හදනවා.  ක‍්‍රීඩාව විනාශ වීමට ඒකත් හේතුවක්”
”විනයගරුක පාසල් ක‍්‍රිකට් කණ්ඩායම් අපි හැදුවේ නැතිනම් අපේ ක‍්‍රිකට් ගැන තියෙන බලාපොරොත්තු ඉෂ්ඨ වෙන එකක් නෑ” යැයිද හිටපු නායක අර්ජුන රණතුංග මහතා මෙම උත්සවයේදී පැවසීය.

 


අදහස් (0)

ක‍්‍රීඩාංගණ එපා, ක‍්‍රීඩකයන් හදන්න - අර්ජුන රණතුංග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.