Last Update  :  2026-05-01 09:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෝටි හතට පදක්කම් හතක්
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල

කෝටි හතට පදක්කම් හතක්

editorial - 2026 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චීනයේ සන්යා නුවරදී ඊයේ (30) අවසන් වූ හය වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් හතරක් දිනා ගනිමින් පදක්කම් සටහනේ 10 වැනි ස්ථානයට පත් විය.ඒ දකුණු ආසියාවේ විශාලතම ක්‍රීඩා කණ්ඩායම ඊට සහභාගි කරමිනි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 77 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි කළ ශ්‍රී ලංකාව එම පදක්කම් මල්ලවපොර (කාන්තා), කබඩි (කාන්තා) හා මලල ක්‍රීඩා යන ක්‍රීඩා ඉසව් වෙතින් දිනා ගත්තේය. එහිදී වඩාත්ම අවධානය දිනා ගත් ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩිකා නිපුනි වාසනා ධර්මදාස කිලෝග්‍රෑම් 50 බර පංතිය  (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත්තාය.එය වසර 2008 දී ආරම්භ වූ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ඕනෑම ක්‍රීඩා ඉසව්වකින් මෙතෙක් දිනා ගත් පළමු රන් පදක්කමයි.

ක්‍රීඩා උළෙලේ සහභාගිත්වය සදහා ශ්‍රී ලංකාව රුපියල් කෝටි හතක් වැය කළ අතර ඊට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ පරිවාර නිලධාරීන්ගේ ගණන 32 දෙනෙකි. පැසිපන්දු, හෑන්ඩ්බෝල් (අත්පන්දු),රුවල් ඔරු යන සහභාගි වූ සෙසු ක්‍රීඩා ඉසව් වලින් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් විය.

ශ්‍රී ලංකාව ඇතුළත් දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව මෙම ක්‍රීඩා උළෙලේදී වඩාත්ම සාර්ථකවූ රට බවට පත් විය. ක්‍රීඩා ඉසව් හතරකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනෙකු පමණක් සහභාගි කළ ඔවුන් කබඩි (පිරිමි) හා මල්ලවපොර (කාන්තා) යන ක්‍රීඩා ඉසව් වෙතින් රන් පදක්කම් තුනක් සමග රිදී පදක්කම් දෙකක් හා එක් ලෝකඩ පදක්කමක් හිමි කර ගනිමින් පදක්කම් සටහනේ හය වැනි තැන ලැබීය.

දකුණු ආසියාවේ කලාපයේ සෙසු රටවල් අතර බංග්ලාදේශය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 31 දෙනෙකු සහභාගි කරමින් කබඩි (කාන්තා) ඉසව්වෙන් එක් ලෝකඩ පදක්කමක් පමණක් හිමි කර ගනිමින් පදක්කම් සටහනේ 26 වැනි ස්ථානයත් පාකිස්තානය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනෙකු සහභාගි කරමින් මල්ලවපොර හා කබඩි (පිරිමි) යන ඉසව් වෙතින් රිදී පදක්කම් දෙකක් හා එක් ලෝකඩ පදක්කමක් ලබා 15 වැනි ස්ථානයත්, නේපාලය ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු සහභාගි කරමින් එක් ලෝකඩ පදක්කමක් ලබා සම 26 වැනි ස්ථානයත් අත් කර ගත් අතර මාලදිවයින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනෙකු සහභාගි කළත් කිසිදු පදක්කමක් දිනා ගැනීමට අපොහොසත් විය.

මෙවර ක්‍රීඩා උළෙලේත් සමස්ත ජයග්‍රාහණය හිමි කර ගත් සත්කාරක චීනය රන් පදක්කම් 24 ක් දිනා පදක්කම් සටහනේ අංක එක බවට පත් විය.ඔවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 170 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගි කරමින් රිදී පදක්කම් 18 ක් හා ලෝකඩ පදක්කම් 13 ක්ද හිමි කර ගත්තේය.

මෙම ක්‍රීඩා උළෙලේදී කිසිදු පදක්කමක් දිනා නොගත් රටවල් ගණන 14 කි. කිසියම් හෝ පදක්කමක් හිමි කර ගත් රටවල් ගණන 31 කි. තායිලන්තය රන් පදක්කම් නවයක් දිනා පදක්කම් සටහනේ දෙවැනි තැනටත් ඉරානය රන් පදක්කම් නවයක් දිනා එහි තෙවැනි ස්ථානයටත් පත් විය.රන් පදක්කම් දිනා ගැනීමට සමත්වූයේ ශ්‍රී ලංකාව ඇතුළුව 14 ක් පමණි.ඒ අනුව ශ්‍රී ලංකාව මෙහි පළමු  ක්‍රීඩා උළෙලේ සිට මේ දක්වා දිනා සිටින  පදක්කම් ගණන 13 කි.

මීළග ක්‍රීඩා උළෙල වසර 2028 පිලිපීනයේ සත්කාරයෙන් සෙබු නගරයේදී පැවැත්වේ.


අදහස් (0)

කෝටි හතට පදක්කම් හතක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.