Last Update  :  2025-09-10 00:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ මැරතන් තරගයට 7500 ක්

කොළඹ මැරතන් තරගයට 7500 ක්

රොෂාන් ගුණරත්න - 2016 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

වසර 15 ක් තිස්සේ සෑම වසරකම ඔක්තෝබර් මස පළමු ඉරිදා පැවැත්වෙන කොළඹ මැරතන් තරගය ඔක්තෝබර් 2 වැනිදා කොළඹින් ආරම්භ වේ. මෙම තරගය සඳහා මෙවරත් තරගකරුවෝ 7500 කට වැඩි පිරිසක් ඉදිරිපත්වනු ඇතැයි සංවිධායකයෝ කියති.


තරගය සඳහා ඊයේ වන විටත් අයැදුම්පත් 6778 ක් නිකුත්කර තිබූ අතර තරගය සම්බන්ධයෙන් පවතින උනන්දුව එන්න එන්නම ඉහළ යමින් පවතින බව එහි සංවිධායකයන් වන ලංකා ස්පෝට්ස් රයිසන් සමාගමේ සභාපති තිලක් වීරසිංහ මහතා පවසයි.


කොළඹ බෞද්ධාලෝක මාවතේ ලෙන්ඩන් පෙදෙස ආලෝක සංඥා පද්ධතිය අසළින් ඉරිදා පෙරවරු 6.00 ට ආරම්භ වන මෙම තරගය කනත්ත වටරවුම, බොරැල්ල, පෑලියගොඩ, වත්තල, හේකිත්ත පාර, පමුණුගම හරහා මීගමුව වෙරළ උද්‍යානය දක්වා පැවැත්වේ.


රටවල් 41 කින් විදේශීය තරගකරුවෝ මෙම මැරතන් තරගයට ඉදිරිපත්ව සිටිති. ඒ අතුරින් වැඩිම තරගකරුවන් පිරිසක් ඉදිරිපත්ව ඇත්තේ චීනයෙන් (49 ක්) වන නමුත් වඩාත්ම ප්‍රබල තරගකරුවන් ඉදිරිපත් වන කෙන්යාවෙන් 30 දෙනෙක් මෙම තරගයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙති.  ඉන්දියාව (27), මාලදිවයින (15), එක්සත් ජනපදය (15), බි්‍රතාන්‍යය (12), ජපානය (13), ප්‍රංශය (9) සහ ජර්මනිය (8) යන රටවලින් වැඩි තරගකරුවෝ සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටිති.


තරගය සුපුරුදු පරිදි මේ වසරේදීත් කොළඹ සිට මීගමුව දක්වා පැවැත්වෙන නමුත් ලබන වසරේ සිට එය කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් සකස් කෙරෙමින් පවතී. ඒ සඳහා මැනීම් කටයුතු දැනටමත් අවසන් කර තිබේ.


“අපේ ඉලක්කය මේ තරගය සඳහා අපේක්‍ෂකයන් 10,000 ක් විතර ගෙන්වා ගැනීමයි. ඒ තත්ත්වය සඳහා සූදානම් වීමක් වශයේ තමා අප ලබන වසරේ සිට මෙම තරගය කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කරන්නේ” යයිද ලංකා ස්පෝට්ස්රයිසන් සභාපති තිලක් වීරසිංහ මහතා පැවසීය.


කොළඹ මැරතන් තරගයේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන සම්පූර්ණ ත්‍යාග මුදල ඩොලර් 25,000 ක් පමණ වේ.


තරගයේ ජයග්‍රාහකයාට සහ ජයග්‍රාහිකාවට ඩොලර් 2500 ක් බැගින් පිරිනැමෙන අතර දෙවැනි ස්ථාන සඳහා ඩොලර් 1500 ක් සහ ඩොලර් 1000 ක් බැගින් වන මුදල් ත්‍යාග පිරිනැමේ. ඊට අමතරව තරගයේ ජයග්‍රාහයාට සහ ජයග්‍රාහිකාවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගමනාන්තයක් සඳහා යාමට සහ ඒමට හැකි වන පරිදි ගුවන් ප්‍රවේශපත් පිරිනැමේ.


අර්ධ මැරතන් තරගයේ ජයග්‍රාහකයාට සහ ජයග්‍රාහිකාවට ඉන්දියාවේ බැංගලෝර් නගරයට යාමට සහ ඒමට ගුවන් ප්‍රවේශපත් පිරිනැමෙන අතර සෑම ඉසව්වකම පළමු 10 දෙනාට මුදල් ත්‍යාග පිරිනැමේ.


කෙන්යාවේ ඇන්තනි දුන්ගු (පැය 2:23.17) පසුගිය වසරේ පැවැති කොළඹ මැරතන් තරගය ජයගත් අතර කාන්තා තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවේ අනුරාධි බෝගහවත්ත (පැය 3:02.38) සමත් වූවාය. වසර 2014 දී මෙම තරගය ජයගත් ගීතානි රාජසේකර (පැය 2:47.55) නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය.


42 වැනි ජාතික ක්‍රීඩා උළෙල යාපනයේදී මේ දිනවල පැවැත්වෙන හෙයින් ශ්‍රී ලංකාවේ දක්‍ෂතම දුර දිවීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කොළඹ මැරතන් තරගයට ඉදිරිපත් වන්නේද නැතහොත් ජාතික ක්‍රීඩා උළෙලට ඉදිරිපත් වන්නේද යන්න පිළිබඳව දෙගිඩියාවෙන් පසුවෙති.

 

කොළඹ මැරතන් තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයන් වන ශ්‍රී ලංන්කන් ගුවන් සේවය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්ත මහතා විසින් අනුග්‍රාහක සහතිකය ලංකා ස්පෝට්ස් රයිසන් සමාගමේ සභාපති තිලක් වීරසිංහ මහතාට පිළිගන්වන ලද අවස්ථාව....


ඡායාරූපය : සමන්ත පෙරේරා

 


අදහස් (1)

කොළඹ මැරතන් තරගයට 7500 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.