Last Update  :  2026-02-24 22:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව්වෝ දැවැන්ත ජයක් ලබති
විස්සයි-20 ලෝක කුසලාන

කොදෙව්වෝ දැවැන්ත ජයක් ලබති

editorial - 2026 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ පළමු කොටස යටතේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ (23) පැවැති තරගයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 107 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය. මෙම ජයත් සමග පළමු කොටසේ පෙරමුණ ගැනීමටද කොදෙව් පිලට හැකි විය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව්වන් පිට පිටම ලැබූ 5 වැනි ජයග්‍රහණය මෙය විය. විස්සයි-20 ලෝක කුසලාන තරගයකදී කොදෙව් කණ්ඩායමක් ලකුණු සංඛ්‍යාව අතින් ගත් කළ ලැබූ දෙවැනි ඉහළම ජයග්‍රහණය ලෙසද මෙය වාර්තා අතරට එක්විය. මින් පෙර 2024 වසරේදී ඔවුන් උගන්ඩාවට එරෙහිව ලකුණු 134 ක ජයක් ලබා තිබිණ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 255 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ පිලට කොදෙව් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 17.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 147 ක් පමණි. අගනා පන්දු යැවීමක නිරත වූ ගුඩකේෂ් මෝති නිලකුණු ඕවරයක්ද සමග ඕවර 4 ක් යවමින් ලකුණු 28 කට කඩුලු 4 ක් දවාගත් අතර අකීල් හොසේන් ලකුණු 28 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය.

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ බ්‍රැඩ් එවන්ස් පන්දු 21 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග වේගවත් ලකුණු 43 ක් රැස්කළත් ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය. ඩියෝන් මේයර්ස් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 28 ක්ද, නායක සිකන්දර් රාසා පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක්ද රැස්කළහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වෝ ඕවර 20 අවසානයේ කඩුලු 6 ක දැවී ලකුණු 254 ක් ලබාගත්තේය. එහිදී ප්‍රවේගකාරී  පිතිහරඹයක නිරත වූ ශිම්රන් හෙට්මෙයර් හයේ පහර 7 ක් සහ හතරේ පහර 7 ක් සමග පන්දු 34 කින් ලකුණු 85 ක් රැස්කරමින් තරගයේ වීරයා බවටද පත් විය. රෝමන් පවෙල් (59) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 122 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමටද හෙට්මෙයර් සමත් විය.

පන්දු 35 කට මුහුණදුන් පවෙල් හයේ පහර 4 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසූ අතර කොදෙව් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ශර්ෆේන් රදර්ෆෝඩ් පන්දු 13 කින් නොදැවී ලකුණු 31 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. රොමාරියෝ ශෙපර්ඩ් පන්දු 10 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 21 ක් රැස්කරමින් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.  


බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 254
(ශායි හෝප් 14, ශිම්රන් හෙට්මෙයර් 85, රෝමන් පවෙල් 59, ශර්ෆේන් රදර්ෆෝඩ් නොදැවී 31, රොමාරියෝ ෂෙපර්ඩ් 21, බ්ලෙසිං මුසරබානි 42/2, රිචඩ් න්ගරාවා 47/2) 

සිම්බාබ්වේ - ඕවර 17.4 කදී සියලු දෙනා දැවී 147
(තඩිවනාෂේ මරුමානි 14, ඩියෝන් මේයර්ස් 28, සිකන්දර් රාසා 27, ටෝනි මුනයොන්ගා 14, බ්‍රැඩ් එවන්ස් 43, ගුඩකේෂ් මෝති 28/4, අකීල් හොසේන් 28/3, මැතිව් ෆෝඩ් 27/3) 


-036


අදහස් (0)

කොදෙව්වෝ දැවැන්ත ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.