Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කේන් - ස්ටෝන්ස් කෝඩුකාර පැනමාව වනසති

කේන් - ස්ටෝන්ස් කෝඩුකාර පැනමාව වනසති

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ හැරී කේන්ගේ ගෝල ත්‍රිත්වයත් සමග ගෝල 6-1 කින් පැනමාව පරාජයට පත්කරමින් අවසාන 16 දෙනාගේ වටයට සේන්දු වීමට අද (24) එංගලන්තය සමත් විය. ‘ජී’ කාණ්ඩයේ තරගයක් වූ මෙය රුසියාවේ නිශ්නි නොව්ගොරොඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

තරගයේ 22 වැනි සහ 46 වැනි මිනිත්තුවේදී එංගලන්තයට ලබාදුන් දඬුවම් පහර ද්විත්වයම සාර්ථක කරගත් හැරී කේන් නැවතත් 62 වැනි මිනිත්තුවේදී, ගෝලයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ වාර්තා වූ දෙවන ගෝල ත්‍රිත්වය බවට තමන් ඉදිරියේ සටහන් කරගත්තේය. කේන් අද ලබාගත් ගෝල ත්‍රිත්වයත් සමග පෘතුගාලයේ රොනාල්ඩෝ සහ බෙල්ජියමේ ලුකාකු රත්‍රං සපත්තුවට සිහින දකිමින් සිටී.

හැරී කේන්ට මනා සහයක් ලබාදුන් ජෝන් ස්ටෝන්ස් තරගයේ 8 වැනි මිනිත්තුවේදී, හිසෙන් දැලවෙත පන්දුව යොමු කරමින් එංගලන්තය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් විය. පැනමාවේ ෆිඩෙල් එස්කොබාර් සහ රොමාන් ටොරෙස් ගෝල සීමාව ආසන්නයේදී, හැරී කේන්ට බාධාවන අයුරින් පන්දුව ලබා ගැනීමට යාම නිසා එංගලන්තයට දඬුවම් පහරක් ලබාදීමට තරග විනිසුරුවරයා තීරණය කළේය. එයින් උපරිම ප්‍රයෝජන ලබාගත් හැරී කේන් 22 වැනි මිනිත්තුවේදී, කෙලින්ම පන්දුව දැලවෙතට යොමු කරමින් එංගලන්තයට බලාපොරොත්තුවක් ගෙන දුන්නේය.

නැවතත් 36 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ එංගලන්තයේ ජෙසී ලින්ගාඞ් සම්පූර්ණයෙන්ම තරගය එංගලන්තය වෙත හරවමින් පැනමාවට ලෝක කුසලානයේ බලාපොරොත්තුව බිඳ දැම්මේය.

40 වැනි මිනිත්තුවේදී නැවතත් හිසෙන් පන්දුව දැලවෙත යොමුකළ ස්ටෝන්ස් ගෝල ද්විත්වයකට හිමිකම් කියමින් කේන්ට මනා සහයක් ලබාදෙමින් එංගලන්තය පෙරමුණේ තැබීය. පිටපිටම ලකුණු රැස්කරමින් පැනමාවට අමතක නොවන පාඩමක් ඉගැන්වූ එංගලන්තය තරගයේ 46 වැනි මිනිත්තුවේදී නැවතත් හිමි වූ දඬුවම් පහර ගෝලයක් බවට පරිවර්තනය කළ එංගලන්තයේ හැරී කේන් පළමු භාගය ගෝල 5-0ක් ලෙස අවසන් කළේය.

මේ සමග ලෝක කුසලාන තරගයකදී එංගලන්තය විසින් ගෝල 5ක් රැස්කළ පළමු වතාව ලෙසද ඉතිහාසයට එක්විය. එයද පළමු භාගය තුළදී රැස්කිරීම විශේෂත්වයකි. නැවතත් දෙවන භාගය ආරම්භ වී 62 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ හැරී කේන් එංගලන්තය වෙනුවෙන් ලෝක කුසලාන තරගයකදී ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ තෙවන ක්‍රීඩකයා බවට ඉතිහාසයට එක්විය.

මීට පෙර 1966 වසරේදී ගියෝෆ් හර්ස්ට් සහ 1986 වසරේදී ගැරී ලිනෙකර් ගෝල ත්‍රිත්වය බැගින් වාර්තා කර ඇත. ගෝල ත්‍රිත්වයක් සමගින් එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය හැරී කේන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.

මංගල ලෝක කුසලානයට සහභාගී වූ පැනමාව මෙවර තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවුවත්, පැනමාව වෙනුවෙන් මංගල ලෝක කුසලාන ගෝලය වාර්තා කිරීමට ෆෙලිප් බැලෝයි 78 වැනි මිනිත්තුවේදී සමත් විය.  

‘ජී’ කාණ්ඩයෙන් 16 දෙනාගේ වටයට එංගලන්තය සහ බෙල්ජියම සුදුසුකම් ලබා ගනිද්දී, කෝඩුකාර පැනමාවට සහ ටියුනීසියාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. 

 

 

 

- 024


අදහස් (0)

කේන් - ස්ටෝන්ස් කෝඩුකාර පැනමාව වනසති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.