Last Update  :  2026-01-23 11:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසල් - වෙල්ලාලගේ - ධනංජය ශ්‍රී ලංකාවට දිනුම ගෙනෙති
1 වැනි එක්දින තරගය

කුසල් - වෙල්ලාලගේ - ධනංජය ශ්‍රී ලංකාවට දිනුම ගෙනෙති

editorial - 2026 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වසර දෙකට පසුව එක්දින පිටියට පා තැබූ ධනංජය ද සිල්වා (22/1) සහ දුනිත් වෙල්ලාලගේ (41/2) දෙදෙනාගේ අති විශිෂ්ට පන්දු යැවීමක්, කුසල් මෙන්ඩිස්ගේ පිතිහරඹයත් (93) නිසා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 19 ක ජයක් අත්කර ගත්හ. ලකුණු 272 ක ඉලක්කයක් කරා ගිය එංගලන්ත කණ්ඩායමට ඕවර 49.2 ක් අවසානයේදී ලබාගත හැකිවූයේ ලකුණු 252 කි. 

එංගලන්තයට ලැබුණු ඉලක්කය අභියෝගාත්මක නොවීය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූ ජෝ රූට් සහ බෙන් ඩකට් දෙදෙනා තම කණ්ඩායමට ජයග්‍රහණය කරා යා හැකි කදිම වේදිකාවක් නිර්මාණය කර දුන්හ. එහෙත් ජෙෆ්රි වැන්ඩසේ සහ ධනංජය ද සිල්වා ඕවර 5 ක් ඇතුළතදී මෙම පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමෙන් පසුව එංගලන්තය අමාරුවේ වැටුණේය. 

එංගලන්තය පිතිකරුවන්ගෙන් ගහණ කණ්ඩායමකි. 2008 සිට 2013 දක්වා එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ ග්‍රැහැම් ස්වෝන්ගෙන් පසුව එංගලන්තයෙන් සාර්ථක දඟ පන්දු යවන්නකු බිහි නොවීම හේතුවෙන් ජෝ රූට් හැරුණු විට එංගලන්ත පිතිකරුවන් අතරේ දඟ පන්දු යවන්නන්ට හොඳින් මුහුණ දෙන පිතිකරුවන් සොයාගැනීම අපහසු කාරණාවකි.
 
මේ හේතුව නිසා ජෝ රූට් දැවී යාමට පසු ලකුණු 69 ක් ඇතුළත කඩුලු 7 ක් බිඳ වැටිණ. 
නායක චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා දෙදෙනාටම ඕවර 5 ක් ඉතිරිව තිබුණ නමුත් දෙදෙනාගෙන් කිසිවකු අවසන් ඕවර 5 දී පන්දුව අතට නොගත්හ. එහි ප්‍රතිඵලය වූයේ අවසන් ඕවර 5 යැවූ වේග පන්දු යවන්නන්ගේ පන්දු 26 කින් එංගලන්ත පිතිකරුවන් ලකුණු 49 ක් උදුරා ගැනීමයි. 

එංගලන්ත පිලට, අවසන් ඕවරයේ පන්දු 6 කින් ලකුණු 20 ක් අවශ්‍යව තිබිණ. ප්‍රමෝද් මධුෂාන්ගෙන් පිත්තටම ලැබුණු පන්දුවකින් ජැමී ඔවර්ටන් දැවී නොගියා නම් පන්දු 200% ක ප්‍රවේගයකින් යුතුව පන්දු 17 කින් ලකුණු 34 ක් උදුරාගත් පිතිකරුවාට තරගය වෙනස් කිරීමේ අවස්ථාවක් තිබිණ. 

දුනිත් වෙල්ලාලගේ සිය ඕවර 10 දී ලකුණු 41 කට කඩුලු දෙකක් දවාගැනීමෙන් අනතුරුව ඉතාමත් විශිෂ්ට උඩපන්දු දෙකක් ද රැකගත්තේය. තරගයේ වීරයා සම්මානය වෙල්ලාලගේට හිමිවූයේ ඔහුගේ අවසන් ඕවරයේ ප්‍රහාරය (පන්දු 5 කින් ලකුණු 22) තරගයේ තීරණය වෙනස් කළ බැවිනි. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 271 ක් ලබාගත්තේය. අවසන් ඕවරයේදී මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් ගැසූ වෙල්ලාගේ, පන්දු හතරක් ඉතිරිව තිබියදී ශතකය ලබාගැනීමේ අවස්ථාව කුසල් මෙන්ඩිස්ට පිරිනැමුවේය. එහෙත් මෙන්ඩිස් මුහුණ දුන් ඊළඟ පන්දුවෙන් ලබාගත්තේ එක ලකුණකි. 

ඉතිරි පන්දු 4 න් තුනක්ම අලංකාර පහර තුනකින්, හතරේ සීමාවෙන් එපිටට යැවූ වමත් පිතිකරුවා අවසන් පන්දුවෙන් තවත් ලකුණු 02 ක් ලබාගත්තේ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 270 න් ඔබ්බට ගෙන යමිනි. 

ශ්‍රී ලංකා ඉනිම පුරාම එහි බර දරාගත් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 93 ක් ලබාගත් නමුත්  ඔහුගේ පිතිහරඹයේ වටිනාකම ලකුණු වලින් කියැවෙන අගයට වඩා ඉහළය. ජනිත් ලියනගේ (46) හැරෙන්නට අනෙක් සියලුම පිතිකරුවන් ඉන්තම් ඉලක්කම් දෙකක අගය පසුකිරීමෙන් පසුව දැවී ගියහ. එහෙත් කුසල් මෙන්ඩිස් (36) සහ ජනිත් ලියනගේ (46) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැංවූ ලකුණු 88 ක සම්බන්ධතාව, ශ්‍රී ලංකා ඉනිම කඩාවැටීමට නොදී රඳවාගත් කොන්ක්‍රීට් තට්ටුවක් මෙන් විය. 

පකිස්තානයට එරෙහිව පැවැති විස්සයි-20 තරග තුනකට පසුව තවත් විස්සයි-20 තරගාවලියක් සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සිතමින් සිටින ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඉනිම ආරම්භයේදීම තිබුණේ ඕවර 50 ක් පුරා සිය කඩුලු රැකගැනීමේ අභියෝගයකි. එබැවින් ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය තරමක් මන්දගාමී විය. 

ප්‍රහාරාත්මක ඕවර 10 නිමා වන විට ලකුණු පුවරුවේ තිබුණේ ලකුණු 49 කි. එම කාලය තුළ යැවුණු පන්දු 60 න් පන්දු 37 ක් නිළකුණු පන්දු ලෙසින් සටහන් වී තිබිණ. හයවැනි ඕවරයේදීම පන්දුව අතට ගත් ලයාම් ඩෝසන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට තිබූ මහත්ම හිසරදය විය. තමන්ගේ 6 වැනි ඕවරය නිළකුණු ඕවරයක් ලෙසින් සටහන් කළ ඩෝසන් දවාගත්තේ එක කඩුල්ලක් වන නමුත් ඔහු යැවූ පන්දු 60 න් පන්දු 41 ක් නිළකුණු පන්දු විය. 

එංගලන්ත දඟ පන්දු යවන්නන් තිදෙනා වූ ලයාම් ඩෝසන්, අදිල් රෂීඩ් සහ රෙහාන් අහමඩ් එක්ව ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කරගත්හ. මේ තිදෙනා අතරේ බෙදී ගිය ඕවර 30 දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 136 කි. 

එංගලන්ත කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වන නෝමන් ගිෆර්ඩ්ගේ අභාවය වෙනුවෙන් සහ එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියකු වූ ඩේවිඩ් කොලියර් මහතාගේ අභාවය වෙනුවෙන් එංගලන්ත ක්‍රීඩකයෝ කළු පටි පැළඳ ක්‍රීඩා කරති. 

- 213 


අදහස් (0)

කුසල් - වෙල්ලාලගේ - ධනංජය ශ්‍රී ලංකාවට දිනුම ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.