
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවත්වෙන තරග 5 කින් යුත් විස්සයි-20 තරගාවලියේ පළමු විස්සයි20 තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය. කැන්බරාහි අද (29 වැනිදා) පැවති මෙම තරගයේදී ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් හොඳ ආරම්භයක් ලබාගත් නමුත් වර්ෂාව නිසා ඕවර 9.4 කට පසුව තරගය අතහැර දැමීමට සිදුවිය.
පන්දු 24 කින් ලකුණු 39 ක් ලබා සිටි සූර්යකුමාර් යාදව්ගේ ඉනිමට හතරේ පහර 3 ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය. තරගය නතර කරන විට ඉන්දියානුවෝ කඩුල්ලක් දැවී ලකුණු 97 ක් ලබාසිටි නමුත් ඔවුන් මුහුණ දී තිබුණේ පන්දු 58 කට පමණි. සූර්යකුමාර් ලකුණු 18 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් ජෝ පිලිප්ස් විසින් අතහරින ලද අතර යාදව්ගේ පිළිතුර වූයේ නේතන් එළිස්ගේ දෙවැනි ඕවරයේ පන්දු 4 කින් ලකුණු 14 ක් උදුරා ගැනීමයි.
ඕස්ට්‍රේලියානු විස්සයි-20 නායක මිචෙල් මාෂ් 18 වැනි වතාවටත් කාසියේ වාසිය දිනාගත් අතර ඒ සෑම අවස්ථාවකදී මෙන්ම, අදත් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. එහෙත් ඉන්දියානුවෝ නම් පළමු පන්දුවේ සිටම පහරදීම තෝරා ගත්හ.
ජොෂ් හේසල්වුඩ් මෙම විස්සයි-20 තරගාවලියේදී සහභාගි වන්නේ පළමු තරග දෙකට පමණි. එංගලන්තයට එරෙහිව පැවත්වෙන අළු බඳුන තරගාවලියට සූදානම් වීම සඳහා හේසල්වුඩ් අවසන් විස්සයි-20 තරග තුනටම සහභාගි නොවේ. හේසල්වුඩ්ගේ ඕවර 3 න් ඉන්දියානුවෝ ලකුණු 24 ක් උදුරා ගත්හ.
කණ්ඩායම තේරීමේදී ඉන්දියානුවෝ දඟ පන්දු යවන්නන් තිදෙනකු තමන් සමග තබාගත්හ. කුල්දිප් යාදව්, අක්ෂර් පතෙල් සහ වරුන් චක්‍රවර්ති තිදෙනාම ඉන්දීය කණ්ඩායමට එකතු වී සිටියහ.
ඉන්දියාව - ඕවර 9.4 කදී කඩුලු 1 ක් දැවී 97 යි
(අභිෂේක් ෂර්මා 19, ෂුබ්මන් ගිල් නොදැවී 37, සූර්යකුමාර් යාදව් නොදැවී 39)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.