Last Update  :  2026-03-18 11:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා පාපන්දු පිල තායිලන්තයට
ආසියානු කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය

ශ්‍රී ලංකා පාපන්දු පිල තායිලන්තයට

editorial - 2026 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පුහුණු තරග සංචාරයක් සදහා අනිද්දා (20) තායිලන්තය බලා පිටත්ව යයි. ඒ මාර්තු 31 වැනිදා තායිපේ නුවරදී චීන -  තායිපේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ආසියානු කුසලාන (2027 - රියාද්) නිර්දේශ තරගයට සූදානම් වෙමිනි.

නැවැත සේවය දීර්ඝ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු කුවේට් ජාතික අබ්දුල්ලා අල් මුතායිරී මහතා ඒ සදහා සූදානම්ව මේ වන විට යළි දිවයිනට ළගාවී සිටියි.

ආසියානු කුසලාන (2027) නිර්දේශ ලබා ගැනීමේ තෙවැනි (අවසන්) වටයේ ඩී කාන්ඩයේ තරග වදින ශ්‍රී ලංකාව එහි මුහුණ දෙන අවසන් තරගය මෙයයි. එහිදී තරග ප්‍රතිපලය කුමක් වූවත් මෙම දෙරටටම එයින් පසුව තරගාවලියේ ඉදිරියට යාමට අවස්ථාවක් නැත. එහෙත් දෙරටටම ඉදිරි ලෝක පාපන්දු (පිරිමි) ශ්‍රේණිගත කිරීම්හි ඉහළට යාමට එය ප්‍රයෝජනවත් වේ.

මේ වන විට ‘ඩී‘ කාන්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව එතෙක් මුහුණ දුන් තරග පහකින් දෙකක් ජය ගෙන සෙසු තරග තුනම පරාජයට පත්වීමෙන් ලකුණු හයක් ලබා එහි තෙවැනි ස්ථානයේ පසු වේ. චීන - තායිපේ එහි සිව් වැනි ස්ථානයේ පසු වන්නේ එතෙක් මුහුණ දුන් තරග පහම  පරාජය වීමෙනි.

මෙම තරග වටයේදී ප්‍රතිවාදීන් එකි නෙකා දෙවරක් මුණ ගැසෙන අතර එහිදී පසුගිය ජූනි 10 වැනිදා කොළඹදී පැවැති දෙරට අතර තරගය ගෝල 3 - 1 කට ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ලෝක පාපන්දු ආසන්නතම (පිරිමි කණ්ඩායම්) ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 194 වැනි ස්ථානයේත් චීන - තායිපේ 174 වැනි ස්ථානයේත් පසුවේ.  මාර්තු 31 වැනිදා බැංකොක් නුවරදී පැවැත්වෙන ඩී කාන්ඩයේ තුර්ක්මෙනිස්ථානය හා තායිලන්තය අතර තරගය එහි අති තීරණාත්මක තරගය බවට පත්ව තිබේ.

එම දෙරට මෙතෙක් සහභාගි වූ තරග පහෙන් හතරක් බැගින් ජය ගනිමින් 12 බැගින් සම ප්‍රසාද ලකුණු ලබා සිටින බැවින් එම තරගයේ ජයග්‍රාහකයා 2027 - රියාද්  ආසියානු කුසලාන (අවසන් වටයට) නිර්දේශ ලබා ගනියි. ලීග් තරග වටයක් වන බැවින් එම තරගය සම වන්නේ නම් එහි වැඩි වාසිය තායිලන්තයට අත් වෙනු ඇත. ඊට හේතුව ප්‍රතිවාදීන්ට එරෙහිව වැඩිම ගෝල පරතරයක වාසියකින් දැනට තායිලන්තය පසු වන බැවිනි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් සිව් දෙනෙකුම මේ වන විට ආබාධ තත්වයන් මත කල් ගෙවන බැවින් ඔවුන් වෙනුවට ආදේශ ක්‍රීඩකයන් මෙම තරග සංචාරයට යොදා ගන්නා බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවසයි.

ආසියානු පාපන්දු කුසලාන තරගාවලියට හදුන්වා දුන් අළුත් තරග ආකෘතිය අනුව මෙම තෙවැනි නිර්දේෂ තරග වටයෙන් කණ්ඩායම් හයක් අවසන් වටයට නිර්දේශ කර ගැනේ. සෙසු කණ්ඩායම් 18 ක් දෙවැනි වටයෙන් එම අවසන් වටයට කෙළින්ම නිර්දේශ ලැබුවෝ වෙති.


අදහස් (0)

ශ්‍රී ලංකා පාපන්දු පිල තායිලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.