Last Update  :  2026-01-16 18:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් ආයතනයට ඔලිම්පික් කමිටු සාමාජිකත්වය

ක්‍රිකට් ආයතනයට ඔලිම්පික් කමිටු සාමාජිකත්වය

editorial - 2026 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටුවේ පූර්ණ සාමාජිකත්වය පිරිණැමීමට එහි විධායක සභාව පසුගිය අගහරුවාදා (13) තීරණය කර තිබේ. ඒ අනුව ජාතික ඔලිම්පික් කමිටුවේ මීළගට පැවැත්වෙන මහ සභා රැස්වීමේදී ක්‍රිකට් ආයතනයට කමිටුවේ පූර්ණ සාමාජිකත්වය පිරිණැමීම සදහා වන යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් ලංකාදීප ය කළ විමසුමකදී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවැසුවේ මහ සභා රැස්වීමේදී අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ක්‍රිකට් ආයතනයට සිය කමිටුවේ සාමාජිකත්වය හිමි වන බවයි.

කෙසේවූවත් ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු වශයෙන් අවම වශයෙන් වසරක කාලයක් සම්පූර්ණ කළ යුතු බැවින් ජාතික ඔලිම්පික් කමිටුවේ ආසන්නයේම යෙදෙන නිලවරණයේදී ක්‍රිකට් ආයතනයට ඡන්ද බලය හිමි නොවන බව සුබ්‍රමනියම් මහතා පවසයි.

වසර 1937 අප්‍රේල් 8 වැනිදා ස්ථාපිත කළ මෙරට ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි වන පළමු අවස්ථාව මෙයයි.ඊට ආසන්නතම සිදුවීම වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට ඔලිම්පික් ක්‍රිඩා ඉසව් ලැයිස්තුවට ඇතුළත් වීමයි.  වසර 2028 ජූලි 14 සිට 30 වැනිදා දක්වා ඇමැරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වෙන මීළග ඔලිම්පික් උළෙල සදහා ක්‍රිකට් (විස්සයි  - 20) ක්‍රීඩාව නිර්දේශ කර තිබේ.

1896 දී ආරම්භ කළ නූතන ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ වඩාත් සංවිධාත්මකව ක්‍රීඩා ඉසව්වක් ලෙස ක්‍රිකට් ඊට ඇතුළත් කළ පළමු අවස්ථාව ලෙස එය සැළකේ.කෙසේවූවත් 1900 පැරිස් නුවරදී පැවැති දෙවැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේදී සත්කාරක ප්‍රංශය හා මහ බ්‍රිතාන්‍ය අතර දෙදින ක්‍රිකට් තරගයක් පැවැත්වූ බව වාර්තාවේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ පූර්ණ සාමාජිකත්වය හෙබි ජාතික ක්‍රීඩා සංගම් ගණන මේ වන විට 31 කි.ඒ හැරෙන්නට තවත් ජාතික ක්‍රීඩා සංගම් හතකට අනු සාමාජිකත්වය ප්‍රදානය කර තිබේ. එහි මීළග නිලවරණය (2025 - 29) ලබන අප්‍රේල් මාසය නිමවීමට පෙර පවත්වා අවසන් කිරීමට නියමිතය. කෙසේවූවත් පූර්ණ සාමාජිකත්වය හිමි ජාතික ක්‍රීඩා සංගම් කීපයක ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය මේ වන විට තාවකාළිකව අත්හිටුවා තිබේ.

මේ අතර අගහරුවාදා පැවැති විධායක සහා රැස්වීමේ තීරණයන්ට අනුව ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයටද ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය අළුතින් ප්‍රදානය කර තිබේ.


අදහස් (0)

ක්‍රිකට් ආයතනයට ඔලිම්පික් කමිටු සාමාජිකත්වය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.