Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කණ්ඩායම් 3 ට නායකයෝ 3 ක්

කණ්ඩායම් 3 ට නායකයෝ 3 ක්

editorial - 2023 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට මුහුණ දී සිටින බරපතළ පසුගාමී තත්ත්වයෙන් ගොඩගැනීම අරමුණු කරගනිමින්, අන්තර්ජාතික ක්‍රීඩාවේ ආකෘති තුන සඳහා නායකයන් තිදෙනකු නම්කිරීමට අලුතෙන් පත්කළ තේරීම් කමිටුව සූදානම් වෙයි. ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග තිදෙනා පිළිවෙලින් ටෙස්ට්, එක්දින සහ විස්සයි20 කණ්ඩායම් මෙහෙයවීමට පත්කරනු ඇතැයි වාර්තා වේ. 

පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ඉන්දියාවේදී පැවැති ලෝක කුසලාන තරඟාවලියේදී තරඟ 9 කට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ ඒවායින් තරග දෙකක් පමණි. අන්තර්ජාතික ටෙස්ට් සහ විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේත් ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ 7 වැනි සහ 8 වැනි ස්ථාන වලය. 

වසර 2011 සහ 2012 දී එක්දින සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි දෙකේදීම අවසන් මහ තරගයටත් සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2014 දී විස්සයි-20 ලෝක කුෂලානය දිනාගත්තේය. 2015 දීත් ලෝක කුෂලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වසර 2016 වන විට විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 ස්ථානයේ සිටියහ. එහෙත් 2015 සහ 2016 යන වසර දෙකක කාලය ඇතුළතදී මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන්, තිලාන් සමරවීර, නුවන් කුලසේකර සහ ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලම් බසින්නට විය. 

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පසුගිය වසරේදීම නායකත්වයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කළ නමුත් හිටපු ක්‍රිකට් තේරීම් කමිටුවේ ඉල්ලීම මත ඔහු දිගටම තනතුරේ රැඳී සිටියේ “ටෙස්ට් පිලේ නායකත්වය වෙනුවෙන් සුදුස්සෙකු සොයා ගන්නා තෙක් බලාගන්නම්” යන පොරොන්දුව දෙමිනි. ඒ අතරවාරයේ, තරග අතරමැද කිහිප වතාවකදී, දිමුත් විසින්ම ටෙස්ට් නායකත්වය තාවකාළිකව ධනංජයට බාර කළ අවස්ථාවලදී ධනංජය නායකත්වය පිළිබඳ ධනාත්මක ප්‍රතිචාර දැක්වූයේය. 

මේ වන විට 32 හැවිරිදි වියේ පසුවන ධනංජය ද සිල්වා ටෙස්ට් තරග 51කට ක්‍රීඩා කර ඇති අතර ශතක 10 ක් සහ අර්ධ ශතක 13 ක් සමඟින් ලකුණු 3,301 ක් රැස්කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ එක්දින තරග 7 කදී ශ්‍රී ලංකාව මෙහෙයවූ කුසල් මෙන්ඩිස් ඉදිරියේදීත් එක්දින කණ්ඩායමේ වගකීම භාර ගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ. ලෝකයේ සුවිශේෂී පිතිකරුවන් අතරට යා හැකි කුසල් මෙන්ඩිස් තවමත් තමන්ගේ හොඳම ටෙස්ට් හෝ එක්දින ඉනිම ක්‍රීඩා කර නැතත්, එක්දින තරඟ 121 කදී ලකුණු 3,509 ක් රැස්කරගෙන ඇත. 

 


අදහස් (1)

කණ්ඩායම් 3 ට නායකයෝ 3 ක්
  • Sisiranath Wijesekera Tuesday, 19 December 2023 03:31 PM

    ටීම් එකේ ඔක්කෝටම වගේ කැප්ටන්කම දෙමු. T20 වල ඕවර් 2න් දෙකට, ODI වල 5න් පහට, ටෙස්ට් වල දවස් 1/2 ගානේ ඔක්කෝමලාව කැප්ටන්ලා කරමු. එතකොට නිකං අපි ඔක්කෝම රජවරු, ඔක්කොම වැසියෝ වගේ ලස්සනට තියේවි. මේක නම් හරිම බුද්ධිමත් තීරණයක්. 2015 ඉඳන් 2019 වෙනකම් අපි සෑහෙන කැප්ටන්ලා ගොඩක් හැදුවා. යන්තම් දස්සා ඇවිත් පහුගිය අවුරුදු දෙකේ අපිට ආය ක්‍රිකට් බලන්න ආස හිතෙන තැනකට ටීම් එක ගෙනාවා. දැන් එයාව එලවලා කැප්ටන්ලා නහුතයක් දා ගත්තාම ක්‍රිකට් නැගලා යයි රොකට් එකක් වගේ. පිස්සු නැත්තං ශොක් කියලා තමයි ඉතිං කියන්න තියෙන්නේ...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.