
(ශානුක අරවින්ද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
විස්සයි-20 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ 'බී' කාණ්ඩය යටතේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (20 වැනිදා) පැවැති මූලික වටයේ තරගයේදී ඕමානයට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 105 ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානුවෝ ඕවර 9.4 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. මෙම තරගය ජයගත්තද ඒ වන විටත් සුපිරි 8 දෙනාගේ වටයෙන් ඉවතට විසීවී තිබීම හේතුවෙන් මෙය ඕස්ට්‍රේලියාවට හුදෙක් සැනසුම් සහගත ජයක් පමණක් විය.
නායක මිචෙල් මාෂ් පන්දු 33 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 64 ක්ද, ජොෂ් ඉන්ග්ලිස් පන්දු 6 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 12 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. ට්‍රැවීස් හෙඩ් පන්දු 19 කින් ලකුණු 32 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමානයට ඇඩම් සම්පා ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 16.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 104 ක් පමණි. එහිදී ඕවර 3.2 ක් යවමින් එය ලකුණු 21 කට සීමා කළ ස්ම්පා, කඩුලු 4 ක් බිඳහෙළුෑ අතර ක්ෂේවියර් බාට්ලට් සහ ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2 බැගින් දවාගත්හ.
ඕමාන ඉනිමේ වැඩි ලකුණු ලාභියා බවට පත්වූ වසීම් අලී පන්දු 33 කින් ලකුණු 32 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. නායක ජිතේන්දර් සිං පන්දු 15 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 17 ක්ද, හමාඩ් මිර්සා පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 16 ක්ද රැස්කිරීමට සමත් වූහ.
ඕමානය - ඕවර 16.2 කදී සියලු දෙනා දැවී 104
(ජිතේන්ද්‍ර සිං 17, හමාඩ් මිර්සා 16, වසීම් අලී 32, ඇඩම් සම්පා 21/4, ග්ලේන් මැක්ස්වෙල් 13/2, ක්ෂේවියර් බාට්ලට් 27/2)
ඕස්ට්‍රේලියාව - ඕවර 9.4 කදී කඩුල්ල දැවී 108
(මිචෙල් මාෂ් නොදැවී 64, ට්‍රැවීස් හෙඩ් 32, ජොෂ් ඉන්ග්ලිෂ් නොදැවී 12)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.