Last Update  :  2025-05-06 14:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔදවැඩෙන රාජකීය ජවය

ඔදවැඩෙන රාජකීය ජවය

රොෂාන් ගුණරත්න - 2017 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රැඞ්බි පළිහ සඳහා වන තරගයට ආසන්න වෙද්දී ත්‍රිත්ව විදුහලට වඩා රාජකීය විදුහල අනපේක්ෂිත ලෙස ඔවුන්ගේ ක්‍රීඩා විලාශය ඉහළ තලයකට නංවා ගැනීමට නිරන්තරයෙන්ම සමත්වෙන බවට විශ්වාසයක් පවතී. මේ සටන්කාමී දෙවිදුහල අතර හෙට (20) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 73 වැනි බ්‍රැඞ්බි පළිහ සඳහා වන පළමු තරගයේදී එය හොඳින් දැකබලා හැකිවනු ඇත.


රාජකීය විදුහල් පිල බ්‍රැඞ්බි පළිහ තරගය දක්වා පැමිණි ගමන්මග පහසු එකක් නොවීය. ඉතා ප්‍රබල කණ්ඩායම් ඇතුළත් කාණ්ඩයෙන් තරග කළ රාජකීය විදුහල් පිලට දස්කම් මුවහත් කරගැනීමට කාලය අවශ්‍ය විය.


ඔවුන් ධර්මරාජ විදුහල හමුවේ පරාජයෙන් ගැලවුණේ කෙස්ගහෙනි. එපමණක් නොව උපක්‍රමශීලී තරග රටාවක් පෙන්නුම් කරමින් සාන්ත පීතර විදුහල් පිල ලකුණු 7කින් සහ සාන්ත ජෝශප් විදුහල් ලකුණු 6කින් පරාජය කිරීමටත් ඔවුහු සමත්වූහ. එහෙත් ඉසිපතනය සමග පැවැති තරගයේදී ඔවුන්ට පරාජයෙන් ගැලවීමට (ලකුණු 5කින්) නම් නොහැකි විය.


සිය ක්‍රීඩකයන් අතර වඩාත් නිවැරැදි ලෙස අවබෝධයක් ගොඩනගා ගැනීමෙන් දෙවැනි වටයේදී විශාල ප්‍රගතියක් පෙන්නුම් කිරිමට රාජකීයයෝ සමත්වූහ. සිය වගකීම වඩාත් හොඳින් අවබෝධ කරගත් ක්‍රීඩකයන්ගෙන් සමන්විත රාජකීය විදුහල් පිල පෙනෙන හැටියට නම් හැම අතින්ම හොඳ තත්ත්වයක පසුවෙයි.


පසුගිය තරගවාර දෙකකදීම රාජකීය විදුහල් පිලේ සාර්ථකත්වයට පදනම වැටුණේ එක පොදියට දෙපිලම පන්දුවට පොර බඳිද්දී එම පොකුර ප්‍රතිවාදීන්ගේ සීමා ඉර වෙත තල්ලු කරගෙන යාමට ඔවුන් දක්වන විශිෂ්ට හැකියාව හේතුවෙනි.


පසුපෙළ ආරක්ෂක ක්‍රීඩකයන් අතර සිටි නායක ඕවින් අස්කි දැන් අංක 10 ස්ථානය අත්පත් කරගෙන සිටී. ඔහුට එම ස්ථානයේ සිට නායකත්වයේ රාජකාරියත් අකුරටම කිරිමේ පහසුව ඇත. ‘ඩ්‍රොප් කික්ස්‘වලට අතිශූරයකු වන අස්කි ධර්මරාජ විදුහල සමග පැවැති තරගයේදී එය මනා ලෙස පෙන්නුම් කළේය.


වින්ග් ක්‍රීඩක සාබිත් ෆෙරෝස් රාජකීය විදුහල් පිලේ තුන්වැනි පෙළ අතර කැපී පෙනෙන ක්‍රීඩකයා බවට සැකයක් නොමැත. ආදර්ශවත් තරග නිමාකරන්නකු වන සාබිත් මත සෑහෙන බරක් පැටවී ඇත. උත්සාහක දිනුම් තැබීමේදී ජනිඳු ඩිල්ෂාන් රාජකීය විදුහල් පිලේ සාර්ථකත්වයේ කොටස් කරුවෙකි. පසුගිය වසරේ බ්‍රැඞ්බි පළිහ පළමු තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ උත්සාහක දිනුමක් තබමින් එම අදියර ජයගැනීමට රාජකීය විදුහලට මං විවර කළ ඩිල්ෂාන් ගැන ත්‍රිත්ව විදුහලේ ක්‍රීඩකයන්ට අමතක නොවන්නකි.


සෙන්ටර් ක්‍රීඩක තුලේබ් හුසේන් ප්‍රතිවාදින් අතරින් රිංගා වේගවත් දිවීමකට දක්ෂයකු වන අතර කදිම ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙකි. හුකර් ක්‍රීඩක හම්සා රීසා අංක අට ස්ථානයේද ක්‍රීඩා කරන අතර ප්‍රතිවාදී සීමා ඉර ආසන්නයේදී අතිශය දරුණු ක්‍රීඩකයෙකි. ඔහු එය හැකි සෑම අවස්ථාකදීම මනාව පෙන්නුම් කොට තිබේ.


අංක අට ස්ථානයේ ක්‍රීඩා කරන ලෙනොක්ස් කළ්‍යණරත්න, ලොක් ක්‍රීඩක නිකිල් ජෝර්ජ්, ඉදිරිපෙළ ශක්තිමත් කරමින් ප්‍රොප් ක්‍රීඩකයන් ලෙස හිමන්ත හිරුෂාන් සහ රිෂ්මල් ප්‍රනාන්දු දස්කම් අතර සිටිති. සරිත සියාත් සහ සමාධි ඉඳුවර දෙවැනි පෙළ ක්‍රීඩකයෝ වෙති. ෆුල් බෑක් ක්‍රීඩකයා ලෙස මොහොමඞ් ශාකිර් විශිෂ්ට මෙහෙයක් ඉටු කරයි.


අත්දැකීම් බහුල සාර්ථක පුහුණුකරුවකු ලෙස සනත් මාටිස් රාජකීය විදුහල් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයමින් සිටී.


පසුගිය වසරේ බ්‍රැඩිබි පළිහ තරගාවලිය ලකුණු සමවීමෙන් නිමාවූයේ ඉතිහාසයේ දෙවැනි වතාවටය. කොළඹ පැවැති තරගය ලකුණු 22-17කින් පරාජයට පත්වූවත් ත්‍රිත්ව විදුහලේ ක්‍රීඩකයන් මහනුවර සිය බලකොටුවේදි තරගය ජයගත්තේ 18-13 කිනි. සමස්ත තරගය ලකුණු 35 -35 කින් සමවූ අතර ත්‍රිත්ව නායක රාහුල් කරුණාතිලකට වාර්තාපොතට එක්විමේ අවස්ථාව අහිමිවූයේ එක් ලකුණකිනි.


කන්ද උඩරට කොහොමත් ත්‍රිත්ව විදුහලේ ආධිපත්‍යයට නතුවී ඇති බැවින් හෙට පැවැත්වෙන තරගය එම කණ්ඩායමට වාසිදායක වනු ඇත.


එසේ වුවත් ත්‍රිත්ව විදුහල් කණ්ඩායමට ගැටලු කිහිපයකට මුහුණදීමට සිදුවී තිබේ. ඔවුන්ගේ වේගවත් සෙන්ටර් ක්‍රීඩක දිල්රුක්ෂාන් දන්ගේ ආබාධයකට ලක්වී සිටී. මේ ඉරණමට ගොදුරු වූ අනෙක් ක්‍රීඩකයා වන්නේ නියම තැනට පන්දුව යොමු කරවන්නට සමත් ලෂේන් විජේසූරියයි. හලා හල විෂ බඳුනක් සේ පෙනෙන එම ස්ථානය ඔහුගෙන් පසුව භාරදෙනු ලැබුවේ රෂේන් බණ්ඩාරනායකටය. කෙසේවෙතත් හෙට තරගයට විජේසූරිය ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වෙයි.


ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයා ලෙස විශිෂ්ට ක්‍රීඩාවක නිරතව සිටින අනුක් බෝයගොඩ ත්‍රිත්ව කණ්ඩායමේ ශක්තියට අමිල දායකත්වයක් ලබාදෙන්නෙකි. කෙසේවුවත් ඔහු පන්දුව පිරි නැමීමේදි පසුපසට දිව යාමේ පුරුද්ද නැති කරගත යුතුය.


ප්‍රොප් ක්‍රීඩකයන් ලෙස අවීෂ ප්‍රියංකරගේ සහ ෂවින් ඒකනායකගේ සේවය ලබාගැනීමට ත්‍රිත්ව විදුහල් පිල වාසනාවන්තය. ඔවුන්ගේ දස්කම්වලට කාගෙත් නෙත් යොමුවූ අවස්ථා එමටය. ඔවුහු තමන්ගේ භූමිකාවට පමණක් සීමා නොවූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම ක්‍රීඩකයෝ වෙති. නායක නේදන් යී ආරම්භයේදී තරමක් නොසැළකිල්ලෙන් යුතුව ක්‍රීඩා කරන බව පෙනුණත් පසුව තරගයට කරන බලපෑම සුලුපටු එකක් නොවේ. තරමක කළබලකාරී ක්‍රීඩකයකු වන හෙතෙම පන්දුව උදුරා ගැනීමට උපන් හපනෙකි.  


හෙට තරගයට ත්‍රිත්ව විදුහල් පිලට බණ්ඩාරනායකලා දෙදෙනකු ක්‍රීඩා කරනු ඇත. වැඩිමල් සොයුරු රෙෂාන් වින්ග් ක්‍රීඩකයකු ලෙසත්, බාලයා රෂේන් ෆුල්බෑක් ක්‍රීඩකයකු ලෙසත් එක්වනු ඇත. සාන්ත පීතර විදුහල් පිල හමුවේ සිය අපරාජිතබව බිඳ ගත් තරගයේදී ත්‍රිත්ව විදුහල් පිල වෙනුවෙන් අගනා උත්සාහක දිනුමක් තැබූ අකිත සකලසූරිය අංක 10 තැනට ක්‍රීඩා කරවීමට තරම් අවධානයට ලක්වූ ක්‍රීඩකයෙකි.


ලෝක සත් සාමාජික රග්බි පිටියේ කීර්තිමත් ක්‍රීඩකයකු වූ ලොටේ රයිකබුලා ත්‍රිත්ව විදුහල් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර හෙට තරගයේ දී සිය කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ම සිදුකිරීමට නියමිතය.


මේ දෙපිලටම ශක්තිමත් හා විභව සම්පන්න ක්‍රීඩකයන් රොත්තක්ම සිටින බවට කිසිදු සැකයක් නොමැත. පාසල් රග්බි තරග බිමේ දී ක්‍රීඩාලෝලින්ට දක්නට ලැබෙන විශිෂ්ටතම හා උණුසුම් තරගයක පෙරනිමිති දැනටමත් පහළවී ඇති මේ තරගය ආරම්භක මිනිත්තුවේ සිට අවසානය දක්වා ඕනෑම කෙනෙකුට අලසකමකින් තොරව නැරැඹිය හැකි තරගයක් වනු ඇතැයි ඉඳුරාම පැවැසිය හැකිය.


හෙට තරගයට අනුමාන කරන රාජකීය විදුහල් කණ්ඩායම -

හිමන්ත හිරුෂාන්. හම්සා රීසා, රිෂ්මල් ප්‍රනාන්දු, සමාධි ඉඳුවර, සසිත සියාත්, ඩිලංග රොඩි්‍රගෝ (නිකිල් ජෝර්ජ්), මලීෂ මධුමෙවන්, ලෙනොක්ස් කළ්‍යාණරත්න, නිකිල් ද සිල්වා. ඕවින් අස්කේ, සාබිත් ෆේරෝස්, තුලේබ් හසන්, ජනිඳු ඩිල්ෂාන්, පසිඳු ප්‍රනාන්දු, මොහොමඞ් ශාකිර්
පුහුණුකරු - සනත් මාටිස් මහතා


හෙට තරගයට අනුමාන කරන ත්‍රිත්ව විදුහල් කණ්ඩායම -

අවීෂ ප්‍රියංකර, හසිරු කෙලිවත්ත, ෂවීන් ඒකනායක, රිෂේන් මාදෙන, පසන් සමරවික්‍රම, කේෂව පලයන්ගොඩ (බෙවිෂාන් විජේවික්‍රම),  කනීෂ අල්විස්, නේදන් යී, අනුක බෝයගොඩ, අකිත සකලසූරිය (ලෂේන් විජේසුරිය), අමිත කුලතුංග, වොරන් වීරකෝන්, ඩිලුක්ෂ දන්ගේ (නවීන් රාජරත්නම්), රෙෂාන් බණ්ඩාරනායක, රෂේන් බණ්ඩාරනායක
පුහුණුකරු - ලොටේ රයිකබුලා මහතා

 

- 077


අදහස් (0)

ඔදවැඩෙන රාජකීය ජවය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.