Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එස්.එස්.සී. තරගයෙන් ඇන්ඩසන් ඉවතට

එස්.එස්.සී. තරගයෙන් ඇන්ඩසන් ඉවතට

Nisanka Sandeepani - 2018 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 1 හිමි ක්‍රීඩකයා වන ජේම්ස් ඇන්ඩසන් තුන්වැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කිරීමට එංගලන්ත කණ්ඩායම තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පිලට එරෙහිව හෙට (23 වැනිදා) කොළඹ එස්. එස්.සී පිටියේදී ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගයේදී ඇන්ඩසන්ගේ ස්ථානයට ස්ටුවර්ට් බ්‍රෝඞ් කැඳවීමට නියමිතය. 

ලෝකයේ අංක එකේ පන්දු යවන්නා වුවද ගාල්ලේදී සහ පල්ලෙකැළේදී පැවැති තරග දෙකේදීම ඇන්ඩසන්ට දවාගත හැකිවූයේ එකම කඩුල්ලක් පමණි. එහෙත් තුන්වැනි තරගයේදී ඇන්ඩසන් විවේක ගන්වන බව එංගලන්ත කණ්ඩායමේ ආරංචි මාර්ග කියයි. 

ඇන්ඩසන් විවේක ගැන්වීමට අමතරව ශාරීරික ආබාධයකට ලක්ව සිටින සෑම් කරන්ද තුන්වැනි ටෙස්ට් තරගයට සහභාගි නොවේ. ඒ වෙනුවට ජොනී බෙයාර්ස්ටෝ කණ්ඩායමට එක්ව සිටී. 

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් එංගලන්ත පිල මේ වන විට 2-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී. 
“මාව එළියේ තියලා තියෙන කාරණාව ඉතාම පැහැදිළියි..... අනෙක් අතට මේ ශීත සෘතුවේදී අපට තියෙන තරග වල හැටියට ස්ටුවර්ට්ට තරගයක් දෙකක් ලැබෙන එක හොඳයි. මොකද එයා ටික දවසකින් ක්‍රීඩා කරලා නෑ. අපට ඊළඟට තියෙන්නේ (බටහිර කොදෙව් පිලට එරෙහිව) අමාරු සංචාරයක්” යයි ජේම්ස් ඇන්ඩසන් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ වෙබ් අඩවියට පවසා තිබිණ. 

ටෙස්ට් තරග 123 කට සහභාගි වී කඩුලු 433 ක් දවාගෙන සිටින ස්ටුවර්ට් බ්‍රෝඞ් ටෙස්ට් පන්දු යවන්නන් අතරේ 13 වැනි ස්ථානයේ සිටින ක්‍රීඩකයා පමණක් නොව දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකුද වෙයි. ටෙස්ට් ශතකයක් සහ අර්ධ ශතක 12 ක් ද සමගින් ටෙස්ට් ලකුණු 3000 ඉක්මවා ලබාගැනීමටද බ්‍රෝඞ් සමත් වී තිබේ. 
වසර 11 කට ඉහතදී ස්ටුවර්ට් බ්‍රෝඞ් සිය ටෙස්ට් හිස්වැස්ම දිනාගත්තේද එස්.එස්.සී. පිටියේදීමය. 

එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නාව සිටි ජොනී බෙයාර්ස්ටෝගේ පාදයේ වලලුකර ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට පළමු ටෙස්ට් තරග දෙකම අහිමි විය. ගාල්ලේදී බෙයාර්ස්ටෝගේ තැන ගත් බෙන් ෆෝක්ස් සිය මංගල තරගයේදීම ශතකයක් ලබාගනිමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගිය අතර පල්ලෙකැළේදීත් කඩුලු රැකීමෙන් මෙන්ම පිත්තෙන්ද විශිෂ්ට දස්කම් දැක්වීය. 

මේ හේතුවෙන් එස්.එස්.සී. තරගයේදීත් කඩුලු රැකීම ෆෝක්ස්ටම බාර කරමින් පිතිකරුවකු වශයෙන් ක්‍රීඩා කිරීමට බෙයාර්ස්ටෝ සූදානම් වී තිබේ. 

තුන්වැනි ටෙස්ට් තරගය සඳහා එංගලන්ත කණ්ඩායම 
රෝරි බර්න්ස්, කීටන් ජෙනිංග්ස්, ජොනී බෙයාර්ස්ටෝ, ජෝ රූට් (නායක), බෙන් ස්ටෝක්ස්, ජොස් බට්ලර්, මුයින් අලී, බෙන් ෆෝක්ස්, අදිල් රෂීඞ්, ජැක් ලීච් සහ ස්ටුවර්ට් බ්‍රෝඞ්

 

 


අදහස් (0)

එස්.එස්.සී. තරගයෙන් ඇන්ඩසන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.