Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එස්.එස්.සී. - පොලිස් සම ශූරතා දිනයි
අන්තර් සමාජ පළමු පෙළ

එස්.එස්.සී. - පොලිස් සම ශූරතා දිනයි

editorial - 2023 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පළමු පෙළ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සම ශූරතාව දිනාගැනීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අද (11 වැනිදා) සමත් විය. කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේ සිවුවැනි දිනයත් එක් පන්දුවක් හෝ නොයවාම අත්හැර දැමීමට සිදුවීම හේතුවෙන් තරගය විසඳුමකින් තොරව නිමාවට පත්විය. 

පළමු දිනයේදී තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 250 ක් ලබා සිටි එස්.එස්.සී. ක්‍රීඩකයෝ, තෙවැනි දිනයේදී වර්ෂාව ඇද හැලීමට පෙර යවනු ලැබූ පන්දු 10 තුළ තවත් ලකුණු 4 ක් රැස්කිරීමට සමත් වූහ. කෙසේ වුවත් වර්ෂාව හේතුවෙන් තරගයේ දෙවැනි දිනය මෙන්ම සිවුවැනි දිනයද මුළුමුණින්ම අතහැර දැමීමට සිදුවිය. 

මෙවර තරගවාරයේදී නිපුන් ධනංජය විසින් එස්.එස්.සී. කණ්ඩායම මෙහෙයවනු ලැබූ අතර අෂාන් බණ්ඩාර විසින් පොලිස් කණ්ඩායම මෙහෙයවනු ලැබිණ. සමන් ජයන්ත මහතා එස්.එස්.සී. කණ්ඩායමේද, චාමර සිල්වා මහතා පොලිස් කණ්ඩායමේද ප්‍රධාන පුහුණුකරුවෝ ලෙස කටයුතු කළහ. 

තරගාවලියේ ශූරතාව සඳහා රුපියල් ලක්ෂ 15 ක් සහ අනු ශූරතාව සඳහා රුපියල් ලක්ෂ 10 ක් ප්‍රධානය කිරීමට නියමිතව තිබුණද, සම ශූරතාව දිනාගැනීම හේතුවෙන් කණ්ඩායම් දෙක අතර එම මුදලේ එකතුව ලක්ෂ 12.5 බැගින් සම සේ බෙදී ගියේය. කණ්ඩායම් දෙකේ නායකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී කමල් ධර්මසිරි මහතා අතින් ශූරතා කුසලාන ලබාගත්හ. 

තරග 10 ක ඉනිම් 17 ක් තුළ ශතක 3 ක් සහ අර්ධ ශතක 5 ක් සමග ලකුණු 828 ක් රැස්කළ එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ ළහිරු උදාර තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙසත්, තරග 10 කදී ඉනිම් 19 ක් තුළ කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 8 ක් සමග කඩුලු 73 ක් බිඳහෙළු පොලිස් කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසත් රුපියල් ලක්ෂ 3 බැගින් වූ මුදල් ත්‍යාග සමග සම්මාන දිනාගත්හ. 

අවසන් තරගයේදී ශතකයක් (107) ලබාගත් එස්.එස්.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු එහි වීරයා ලෙස සම්මාන ලැබූ අතර ඒ වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ 2 ක මුදල් ත්‍යාගයක්ද හිමිවිය. තරග 9 කදී ඉනිම් 13 ක් තුළ ශතක 3 ක් සහ අර්ධ ශතක 4 ක් සමග ලකුණු 686 ක් රැස්කරමින්ද, ඉනිම් 14 ක් තුළ කඩුලු 31 ක් බිඳහෙළමින්ද දස්කම් දැක්වූ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ රවිඳු ප්‍රනාන්දු තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර ඒ වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ 5 ක මුදල් ත්‍යාගයක් හිමිවිය. 


එස්.එස්.සී. පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 254 
(ෂෙවොන් ඩැනියෙල් 56, අවිෂ්ක ප්‍රනාන්දු 107, නිපුන් ධනංජය 40, කුසල් මෙන්ඩිස් 29) 


අදහස් (0)

එස්.එස්.සී. - පොලිස් සම ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.