Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එමීලියානෝ ආර්ජන්ටිනාවේ අවස්ථාව ආරක්‍ෂාකරයි
කටාර් - 2022

එමීලියානෝ ආර්ජන්ටිනාවේ අවස්ථාව ආරක්‍ෂාකරයි

editorial - 2022 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

නෙදර්ලන්තයේ දඬුවම් පහර දෙකක්ම වළක්වාගත් ආර්ජන්ටිනාවේ දැළ රකින්නා වන එමිලියානෝ මාටිනස් පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා දකුණු ඇමරිකානු කණ්ඩායම කැඳවාගෙන ගියේය. එංගලන්තයේ ඇස්ටන් නුවර පාපන්දු සමාජයක් වන ඇස්ටන් විලා කණ්ඩායම නියෝජනය කරන එමිලියානෝ, කෝපා ඇමරිකා තරගාවලියේදීත් විශිෂ්ටතම දැළ රකින්නා වශයෙන් සම්මාන ලැබූ ක්‍රීඩකයාය.

තරගයේ අවසානය ආසන්න වෙද්දීත් අර්ජන්ටිනාව ගෝල 2-1 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය. එහෙත් ආබාධ වෙනුවෙන් පිරිනැමෙන කාලයේදී අතිරේක ක්‍රීඩක වූට් වෙගෝස්ට් ලබාගත් ගෝලය නිසා තරගය 2-2 ක් ලෙසින් සම වීමත් සමගම ආර්ජන්ටිනා ක්‍රීඩකයෝ විපිළිසර වූහ. එයින් සිදුවූයේ තරගය තවත් විනාඩි 30 ක අතිරේක කාලයක් කරා ඇදී යාමයි.

කටාරයේ ලුසායිල් ක්‍රීඩාංගණයට රැස්ව සිටි 88,000 කට අධික නරඹන්නෝ අන්ද මන්දව සිටියහ. ඔවුන් සියලු දෙනාම ලයනල් මෙසී සහ ඔහුගේ ආර්ජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් දෙමින් සිටියහ. එහෙත් අතිරේක කාලයේදී දෙපිලටම ගෝල ලබාගත නොහැකි වූ බැවින් තරගය දඬුවම් පහර කරා තල්ලු වී ගියේය.

වරෙක තමන්ගේ දකුණු දෙසට පියාඹා යමින්ද, තවත් වරෙක ඉස්සෙකු මෙන් වමට පනිමින් ද දැළ රකගත් මාටිනස්, දඬුවම් පහර අතරේදී දෙවතාවක්ම තම දැළ ආරක්‍ෂා කරගත් බැවින් ආර්ජන්ටිනාවට 4-3 ක ජයක් ලැබිණ. මෙම ජයග්‍රහණය එමීලියානෝ මාටිනස්ගේ  දස්කම් හේතුවෙනි.

ලෝක කුසලාන තරගාවලි 5 කට සහභාගි වී ඇති, 35 හැවිරිදි මෙසී ලෝකයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයකු වශයෙන් අවිවාදයෙන්ම සැලකෙන නමුත් තවමත් ලෝක කුෂලාන දිනාගත් කණ්ඩායමක සාමාජිකයකු වී නැත. එහෙත් දකුණු ඇමරිකානු විශිෂ්ටයන් වන පේලේ සහ ඩියාගෝ මැරඩෝනා වැනි අය හා සමතැන් ගැනීමට නම් ආර්ජන්ටිනාවට ලෝක කුසලානයක් අවශ්‍ය වී තිබේ.

ඒ අවස්ථාව ආරක්‍ෂා කරගන්නා ලද්දේ එමීලියානෝ විසිනි.


අදහස් (0)

එමීලියානෝ ආර්ජන්ටිනාවේ අවස්ථාව ආරක්‍ෂාකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.