Last Update  :  2026-02-27 21:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය හඹාගොස් ජයගනී
විස්සයි-20 ලෝක කුසලාන

එංගලන්තය හඹාගොස් ජයගනී

editorial - 2026 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ දෙවැනි කොටස යටතේ කොළඹ ආර්.‍ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 වැනිදා) පැවැති තරගයෙන් නවසීලන්තයට එරෙහිව කඩුලු 4 ක ජයක් ලැබීමට එංගලන්තය සමත් විය. මෙම ජයත් සමග දෙවැනි කොටසේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට පිවිසීමටද එංගලන්තයට හැකි විය.

එහිදී ලැබූ පරාජය හේතුවෙන් නවසීලන්තයට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා අවධානම් සහගත තත්වයකට මුහුණදීමට සිදුවිය. පවතින තත්වය අනුව නවසීලන්තයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් ‍හෙට (28 වැනිදා) පල්ලේකැලේ පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ පාකිස්තානය පරාජයට පත්විය යුතුය.

එහෙත් ඉහළ ශුද්ධ ලකුණු වේගයක් රඳවාගනිමින් එම තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කිරීමට පාකිස්තානය සමත් වුවහොත් නවසීලන්තය තරගාවලියෙන් ඉවතට ඇද දමා, දෙවැනි කොටසේ දෙවැනි ස්ථානයට පත්වෙමින් පාකිස්තානය තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත. ඒ අනුව හෙට තරගය නවසීලන්තයට මෙන්ම පාකිස්තානයටද ඉතා තීර්ණාත්මක තරගයක් වනු ඇත.  

ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිතිකරුවෝ, කඩුලු 6 ක් දැවී පන්දු 3 ක් ඉතිරිව තිබියදී ඉලක්කය පසුකර ගියහ. ලකුණු 107 කට කඩුලු 6 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 16 කදී ලකුණු 44 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ විල් ජැක්ස් (නොදැවී 32) සහ රෙහාන් අහමඩ් (නොදැවී 19) එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

එහිදී පන්දු 18 කට මුහුණදුන් ජැක්ස් හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 7 කට මුහුණදුන් රෙහාන් හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සිය ඉනිම වර්ණවත් කළේය. එංගලන්ත මැද පෙළ සවිමත් කළ ටොම් බැන්ටන් පන්දු 23 කින් ලකුණු 33 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගිනි. රචින් රවින්ද්‍ර ලකුණු 19 කට කඩුලු 3 ක් බිඳහෙළීමට සමත් වුවද ඔහුට නවසීලන්ත කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 7 ක දැවී ලකුණු 159 ක් ලබාගත් අතර නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ග්ලෙන් පිලිප්ස් පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 39 ක් රැස්කළේය. කෝලි මැකොන්චි පන්දු 12 කින් ලකුණු 14 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ටිම් සෙයිෆට් (35) සහ ෆින් ඇලන් (29) නවසීලන්තයට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 25 කදී වාර්තා වූ සෙයිෆට්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින්ද, පන්දු 19 කදී වාර්තා වූ ඇලන්ගේ ඉනිම හයේ පහර 3 කින්ද සමන්විත විය.

දඟ පන්දු යවන්නන් 5 දෙනෙක් සමගින් මෙම තරගයට සහභාගි වූ එංගලන්තය ඕවර 20 න් 16 ක්ම දඟ පන්දු යවන්නන් යොදාගනිමින් ක්‍රියාත්මක කිරීම කැපී පෙණුන සිදුවීමක් විය. ඔවුන් අතරින් විල් ජැක්ස් ලකුණු 23 කට කඩුලු 2 ක්ද, ආදිලි රෂීඩ් ලකුණු 28 කට කඩුලු 2 ක්ද, රෙහාන් අහමඩ් ලකුණු 28 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් නවසීලන්ත පිතිකරුවන් පීඩනයට පත් කළහ.

නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 159

(ටිම් සෙයිෆට් 35, ෆින් ඇලන් 29, ග්ලේන් පිලිප්ස් 39, මාක් චැප්මන් 15, කෝල් මැකොන්චි 14, විල් ජැක්ස් 23/2, ආදිල් රෂීඩ් 28/2, රෙහාන් අහමඩ් 28/2)  

එංගලන්තය - ඕවර 19.3 කදී කඩුලු 6 ක් දැවී 161

(හැරී බෲක් 26, ජෙක‍ොබ් බෙතෙල් 21, ටොම් බැන්ටන් 33, සෑම් කරන් 24, විල් ජැක්ස් නොදැවී 32, රෙහාන් අහමඩ් නොදැවී 19, රචින් රවින්ද්‍ර 19/3)  


අදහස් (0)

එංගලන්තය හඹාගොස් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.