Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තයේ තරම අප්‍රිකානු ශූරයන්ට පෙන්වති
කටාර් - 2022

එංගලන්තයේ තරම අප්‍රිකානු ශූරයන්ට පෙන්වති

editorial - 2022 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(සැකසුම : දමින්ද විජේසූරිය)

අප්‍රිකානු ශූරයන් වන නමුත් යුරෝපා පාපන්දු ක්‍රීඩාවට අලගු තියන්නටවත් ඔවුන්ට බැරි බව සෙනගාලයට කියා දුන් ගැරත් සවුත්ගේට්ගේ එංගලන්ත ක්‍රීඩකයෝ, ලෝක කුසලාන තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී (16 දෙනාගේ වටය) 3-0 ක පහසු ජයක් වාර්තා කළහ. මෙම තරගය ඉරිදා රාත්‍රියේදී කටාරයේ අල් බායිත් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

තරගයෙන් පසුව සෙනගාලයේ පුහුණුකරු අලියු සිසී පිළිගත්තේ කණ්ඩායම් දෙකේ ආරක්‍ෂක ක්‍රමවේද අතර දැවැන්ත පරතරයක් පැවැති බවයි.  

තරගයේ පළමු අර්ධයේදීම එංගලන්තය 2-0 ක් පෙරමුණ ගත්තේය. ජෝර්ඩ්න් හෙන්ඩසන් 38 වැනි විනාඩියේදීත්, හැරී කේන් 48 වැනි විනාඩියේදීත් ගෝල ලබාගත් හෙයින් පුහුණුකරු ගැරත් සවුත්ගේට් ප්‍රමුඛ එංගලන්ත ක්‍රීඩකයෝ, පිටියේ පැති මාරුකර ගත්තේ සැනසුම් සිතිනි.

දෙවැනි අර්ධය ආරම්භ වන විටත් සෙනගාලය අසීරු අභියෝගයකට මුහුණ දී සිටියේය. එහෙත් 57 වැනි විනාඩියේදී බුකායෝ සකා ලබාගත් ගෝලයත් සමගින් අප්‍රිකානු ශූරයන්ගේ බලාපොරොත්තු සී සී කඩ විසිර ගියේය.

තරගයෙන් පසුව සෙනගාල පුහුණුකරුවා නිදහසට කරුණු සොයමින් සිටියේය. ඔහුගේ එක කාරණාවක් වූයේ ලෝක කුසලාන තරගාවලියට පෙර, තමන්ගේ ආරක්‍ෂක පෙළ ක්‍රීඩකයන් හොඳ තත්ත්වයක සිටි නමුත් තරග වලදී ඔවුන් වැඩි වැඩියෙන් ගෝල ලබාගැනීමට ප්‍රතිවාදීන්ට අවස්ථාව දුන් බවයි.

“සෙනගාලය වෙනුවෙන් ක්‍රීඩා කළ හැකිව සිටි හොඳම ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකුත්, ආබාධ නිසා අපට අහිමි වුණා” යයි සෙනගාල පුහුණුකරුවා කීවේය.

අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව, සෙනගාලය ලෝකයේ 18 වැනි ස්ථානයේ සිටින කණ්ඩායමයි.

- 213


අදහස් (0)

එංගලන්තයේ තරම අප්‍රිකානු ශූරයන්ට පෙන්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.