Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තයට ලකුණු 57 ක ජයක්

එංගලන්තයට ලකුණු 57 ක ජයක්

Nisanka Sandeepani - 2018 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 57 ක ජයක් අත්කරගත් එංගලන්තය තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙසින් ටෙස්ට් තරගාවලියද ජයගත්තේය. 

ලකුණු 301 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම අද (18 වැනිදා) පෙරවරුවේදී ලකුණු 243 කින් නිමාවට පත්විය. පෙරවරු 9.45 ට තරගය ආරම්භ වීමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීමට එංගලන්ත පන්දු යවන්නන්ට අවශ්‍ය වූයේ විනාඩි 32 ක් පමණි. 

එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගත්තේ වසර 17 කට පසුවය. ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියක් අවසන් වරට ජයගත් එංගලන්ත කණ්ඩායම වූයේ නසාර් හුසේන්ගේ නායකත්වයෙන් යුත් 2001 කණ්ඩායමයි. 

සෙනසුරාදා සවස කඩුලු 7 කට ලකුණු 226 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් අද පෙරවරුවේදී ලබාගත යුතුව තිබුණේ තවත් ලකුණු 75 ක් පමණි. අකිල ධනංජය සහ නිරෝෂන් දික්වැල්ල එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 240 දක්වා ඉහළ දැමූ නමුත් පන්දු 3 ක් අතුළතදී දික්වැල්ල  සහ නායක සුරංග ලක්මාල් දෙදෙනාම පිටියෙන් ඉවත් කළ මුයින් අලී එංගලන්ත ජයග්‍රහණයේ මාවත විවර කළේය. එතැන් සිට ඇරඹි අවසන් කඩුල්ලේ සම්බන්ධතාව පැවැතියේ විනාඩි 13 ක් පමණි. 

ලකුණු 301 ක ඉලක්කයක් කරා යාමේදී ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු තුනම ලකුණු 26 ක දී බිඳ වැටිණ. එහෙත් අත්‍යවශ්‍ය මොහොතකදී අගනා සම්බන්ධතා දෙකක් ගොඩනැංවූ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු රඳවා ගත්තේය. සෙනසුරාදා තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 219 ක් ලබා සිටියේය. 

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් දිමුත් කරුණාරත්න සහ මැතිව්ස් අතර පැවති සම්බන්ධතාව බිඳ වැටුණේ අතිශය අවාසනාවන්ත ලෙසිනි. අදිල් රෂීඞ්ගේ පන්දුවට කරුණාරත්න ගැසූ ස්වීප් පහරින් පන්දුව ඇදී යද්දී ෆෝවර්ඞ් ‘ෂොට් ලෙග්’ හි සිටි කීටන් ජෙනිංග්ස් ඊට වමතින් ගැසුවේය. හතරේ සීමාව දෙසට ගිය පන්දුව ජෙනිංස්ග්ගේ පහරින් වෙනතක යද්දී කඩුලු රකින්නා වූ බෙන් ෆෝක්ස් එය රැකගැනීම හේතුවෙන් දිමුත් කරුණාරත්නගේ ඉනිම ලකුණු 57 දී අවසන් විය. 

මැතිව්ස් සහ සිය පාසල් සගයා වන රොෂේන් සිල්වා අතර පැවැති පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 73 ක් වෙද්දී මොයින් අලීගේ පන්දුවක් ස්ලිප් හි සිටි ජෝ රූට් අත නතර විය. එය උඩපන්දුවක් යයි කළ ඉල්ලීම විනිසුරු එරැස්මස් මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් විතීවි ක්‍රමවේදය අනුව තහවුරු වූයේ පන්දුව පා ආවරණයේ වැදී රූට් වෙත ඇදී යාමට පොරතුව රොෂේන්ගේ පිත්තේ ඇතුළත දාරයේ වැදී ගිය බවයි. 

සෙනසුරාදා දිවා ආහාරයත් තේ පානයත් අතරතුර කාලයේදී එංගලන්ත පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ කඩුලු දෙකක් පමණි. ඒ අතරවාරයේදී ලකුණු 126 ක් ලබාගැනිමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.  එහෙත් තේ පානයෙන් පන්දු 3 කට පසු ඇන්ජලෝ මැතිව්ස් දැවී යාමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කෙරේ තැබූ බලාපොරොත්තුද දැවී ගියේය. 

එංගලන්ත දෙවැනි ඉනිම සවිමත් කළ ශතකයක් ලබාගත් නායක ජෝ රූට් තරගයේ විරයා වශයෙන් සම්මාන දිනාගත්තේය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ මස 23 වැනිදා කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වේ.  

 

 

 

 

 

 

 

 

 

1 2 4


ඡායාරූප - ඉෂාර කොඩිකාර (ඒ.එෆ්.පී.)


අදහස් (0)

එංගලන්තයට ලකුණු 57 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.