Last Update  :  2024-04-29 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය යළිත් 300 කඩඉම පනී

එංගලන්තය යළිත් 300 කඩඉම පනී

Nisanka Sandeepani - 2018 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උඩපන්දු දෙකක් ගිළිහී ගිය නමුත් තේ පානයෙන් පසුව සටනක් දුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) ආරම්භ වූ තුන්වැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී එංගලන්ත ලකුණු සංඛ්‍යාව 312 ක සීමා කළහ. ඒ අතරවාරයේදී කඩුලු 7 ක් දවාගැනීමටද ඔව්හු සමත් වූහ.

මෙම තරගාවලියේදී මෙතෙක් ක්‍රීඩා කළ ඉනිම පහේදී එංගලන්තය ලකුණු 300 කඩයිම පසුකර ගියේ 4 වැනි වතාවටය.

පුහුණුවීම් කරන අතරවාරයේදී පාපන්දු ක්‍රීඩා ක්‍රීඩාවේ නිරත වීමෙන් පාදය තුවාළ කරගත් එංගලන්ත කඩුලු රකින්නා වූ ජොනී බෙයාර්ස්ටෝට පළමු සහ දෙවැනි ටෙස්ට් තරග දෙකම අහිමි විය. එහෙත් සිය පුනරාගමනයේදී අලංකාර ශතකයක් ලබාගත් බෙයාර්ස්ටෝ එංගලන්ත ඉනිමේ නැංගුරම වූයේය.

පැය හතර හමාරකට ආසන්න කාලයක් පිටියේ සිටි බෙයාර්ස්ටෝගේ පන්දු 186 ඉනිම හතරේ පහර 9 කින් සහ හයේ පහරකින් අලංකාර වූ අතර නායක ජෝ රූට් (46) සහ බෙන් ස්ටෝක්ස් (57) සමග එක්ව තුන්වැනි සහ හතර වැනි කඩුලු වෙනුවෙන් ලකුණු 100 ක සහ ලකුණු 99 ක සම්බන්ධතා ගොඩනැංවීමටද හෙතෙම සමත් විය. ඔහු ලබාගත් ටෙස්ට් ශතක හයෙන් ශතක තුනක්ම ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ඒවා වෙයි.

තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 3 කට ලකුණු 197 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 7 ක් අතැතිව ලකුණු 250 ට ආසන්නයේ සිටියේය. එහෙත් මුළු ලකුණු සංඛ්‍යාව 235 ක් ව තිබියදී බෙන් ස්ටෝක්ස් ගැසූ අළස පහරකින් ස්ලිප් කලාපය වෙත ඇදී ගිය පන්දුව උඩපන්දුවක් බවට පෙරළාගත් ධනංජය ද සිල්වා එංගලන්ත ඉනිමේ ගමන් මග වෙනස් කළේය.

එතැන් සිට එංගලන්ත පිතිකරුවන් තරමක් මුරණ්ඩු පහර කරා යද්දී නිසි පාලනයක් සහිත පන්දු යැවීමක නිරත වූ ලක්ෂාන් සඳකැන්, ඩිල්රුවන් පෙරේරා සහ මාලින්ද පුෂ්පකුමාර එංගලන්ත පිතිකරුවන් සිවුදෙනෙකු ලකුණු 59 ක් ඇතුළතදී ආපසු ක්‍රීඩාගාරයට යැවූහ.

දිවා ආහාරය වන විටම එංගලන්ත පිල තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම අතට ගෙන සිටියේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඒ වන විටත් තමන් සතු විතීවි අවස්ථා දෙකම අහිමි කරගෙන සිටි බැවින් එංගලන්ත පිලට ලැබී තිබූ වාසිය සුළුපටු නොවේ. එහි උපරිම ප්‍රයෝජන ලබාගත් පිතිකරුවා බෙන් ස්ටෝක්ස් විය.

ස්ටෝක්ස් ලකුණු ලබාගැනීමට පෙරම ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් කඩුල්ලට යා නොදී පා ආවරණයෙන් මුවා කළ නමුත් විනිසුරු ක්‍රිස් ගැෆනි මහතාට එය වටහාගත නොහැකි විය. වමත් පිතිකරුවා ලකුණු 26 ක් ලබාගැනීමෙන් පසුව ධනංජය සිල්වා විසින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගන්නා ලද නමුත් එවරද විනිසුරුවරයාගේ සැකයේ වාසිය පිතිකරුවාටම ලැබිණ.

ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 10 ක් ලබා සිටියදීත්, ජෝ රූට් ලකුණු 18 ක් ලබා සිටියදීත් දවාගැනීමට උත්සාහ කළ ශ්‍රී ලංකා නායකයා විතීවි අවස්ථා ඉල්ලා සිටියේය. එහෙත් නායකයාගේ ඉල්ලීම් දෙකම අසාර්ථක විය.

මුයින් අලිගේ උඩපන්දු දෙකක්ම නිරෝෂන් දික්වැල්ල සහ දිමුත් කරුණාරත්න අතිනි ගිළිහී ගියා මදිවාට අලී කඩුල්ල මුවා කළේ යයි විනිසුරු සුන්දරම් රවී මහතා තීරණය කළ අවස්ථා දෙකේදීම සිය තීරණය වෙනස් කිරීමට ඔහුට සිදුවිය. එක අවස්ථාවකදී පන්දුව කඩුල්ලේ නොවැදී ඉවත ඇදී යන බවත් අනෙක් අවස්ථාවේදී පන්දුව පිත්තේ දාරයේ ගෑවී යන බවත් විතීවි ක්‍රමවේදයෙන් තහවුරු විය. දිනය අවසන් වන විට මුයින් අලී ලකුණු 23 ක් ලබා නොදැවී සිටියේය.

දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක් යයි කී නමුත් එංගලන්ත පිතිකරුවෝ කිසිම අසීරුතාවකින් තොරව පන්දුවට මුහුණ දෙමින් සිටියහ. ඔවුන් ස්වීප් පහර කරා යොමුවූයේ කිසිම පැකිළීමකින් තොරවය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූයේ නම් ඒ ඩිල්රුවන් පෙරේරා සහ මාලින්ද පුෂ්පකුමාර පමණි. ඩිල්රුවන්ගේ පන්දුව තමන් වෙත පැමිණෙන වේගය වටහා නොගත් රෝරි බර්න්ස් එය පොයින්ට් කලාපයට තල්ලු කිරීමට  ගත් උත්සාහයේදී පන්දුව කඩුල්ල වෙත ඇදි ආවේය. කීටන් ජෙනිංග්ස් දැවී ගියේ ලෙග් ස්ලිප් හි සිටි රොෂේන් සිල්වාගේ විශිෂ්ට උඩපන්දු රැකීමකිනි.

තරගාවලියේදී පිට පිටම තුන්වැනි වතාවටත් කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ජෝ රූට් පන්දුවට පහර දීම තෝරා ගත්තේය.

 

1

7

78

 

තරගයේ විශේෂ අවස්ථා 

ඡායාරූප - චතුර එස්. කොඩිකාර 

 


අදහස් (0)

එංගලන්තය යළිත් 300 කඩඉම පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.