Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්

එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්

රොෂාන් ගුණරත්න - 2018 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න කියයි. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (15 වැනිදා) සවස ක්‍රීඩාව නතර කිරීමෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී දිමුත් කරුණාරත්න මේ බව පැවසීය. 


“මේ ලබාගත් ලකුණු 46 වාසිය ඉතාම විශාලයි. අපට හෙට උදේම කඩුලු දෙක තුනක් දවාගන්න පුළුවන් වුණොත් ඒ ගොල්ලන්ව අමාරුවේ දාන්න අපට පුළුවන් වේවි....එංගලන්ත පිල දෙවැනි ඉනිමේදී ලකුණු 250 ක් ලබාගන්න කලින් දවාගන්න අපට පුළුවන් වුණොත් ඒක යා හැකි ඉලක්කයක් වේවි” යයි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා පැවසීය. 


මේ වෙනුවෙන් ශ්‍රී ලංකා පිල සතුව ඇත්තේ කදිම උපායකි. එනම් එංගලන්ත පිතිකරුවන් විශාල පහර කරා යාමේ අවස්ථාව අවහිර කිරීමයි. 


“ඔවුන්ට තනි ලකුණු වලින් තමන්ගේ ලකුණු ලබාගන්න සලස්වන්න ඕනේ. පළමු ඉනිමේදී ඔවුන් දඟ පන්දු යවන්නන් හමුවේ ලොකු පහරවල් ගැහැව්වා. ඔවුන්ගේ උපක්‍රමය වුණේ ඒකයි. ඒත් ලොකු පහරවල් ගහන්න ඔවුන්ට ඉවසන්න වෙනවා. අවදානමක් ගන්න වෙනවා. අපේ සැලැස්ම ඒකයි” යයිද දිමුත් පැවසීය. 


එංගලන්ත පිතිකරුවෝ සිය පළමු ඉනිමට හතරේ පහර 24 ක් සහ හයේ පහර 7 ක් ඇතුළත් කළහ. ඒ අනුව එංගලන්තය මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 285 න් (දඬුවම් ලකුණු 5 හැරුණු විට) ලකුණු 138 ක් ලබාගෙන ඇත්තේ හතරේ සහ හයේ පහර වලිනි. 


තණතීරුව මේ වන විටත් විශාල ලෙසින් දඟ පන්දු යවන්නන්ට උපකාරී වෙමින් තිබේ. නිරන්තරයෙන් පන්දු නොයවන ජෝ රූට් පවා පන්දුවෙන් සාර්ථක දඟ කැවීමක් ලබාගත් අතර අකිල ධනංජය, ඩිල්රුවන් පෙරේරා සහ මාලින්ද පුෂ්පකුමාරට එයින් හොඳ ප්‍රයෝජන ලබාගත හැකිවනු ඇත. 


මෙවන් තණතීරුවකදී සැබෑ දඟ පන්දු යවන්නන් හමුවේ විශාල පහර කරා යාම පහසු අභියෝගයක් නොවේ. ඒ වෙනුවෙන් කිසියම් අවදානමක් ගත යුතුව තිබේ. 


ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසිය ලකුණු 46 ක් නොව ඊට වඩා වැඩිකරගැනීමේ සාධාරණ අවස්ථාවක් තිබුණ නමුත් දිමුත් කරුණාරත්න දුවද්දී දවාගත් බෙන් ස්ටෝක්ස් එය අවහිර කර දැමීය. තරගයේ එවකට පැවැති තත්ත්වය අනුව, එය මහත් අවාසනාවන්ත දැවී යාමක් විය. 


“ධනංජයත් ඉතාම හොඳින් ලකුණු ලබාගනිමින් හිටියේ. එයාගේ අර්ධ ශතකය ලබාගන්න උදව් කරන්න මට හිතුණා. ඒ නිසයි ඒ ලකුණට දිව්වේ...ඒත් ක්‍රිකට් ක්‍රීඩාවේදී මේ වගේ දේවල් වෙනවා”


ලකුණක් ලබාගැනීමට ධනංජය සහ කරුණාරත්න දෙදෙනා තෝරාගත්තේ වැරදි ක්‍රීඩකයායි. වේග පන්දු යවන්නකු වන බෙන් ස්ටෝක්ස් එංගලන්ත ක්‍රීඩකයන් අතරේ ඉතාමත් වේගයෙන් පන්දුව දමාගසන ක්‍රීඩකයෙකි. ස්ටෝක්ස්ගේ දකුණත දිමුත්ගේ දෙපා වලට වඩා වේගවත්ය. 


එක්ස්ට්‍රා කවර්ස් හි සිට පන්දුව අහුලාගත් ස්ටෝක්ස්ගේ අතිනි ගිළිහුණු පන්දුව අකුණු සැරයක වේගයෙන් කඩුල්ලට කඩා වැදුණේය. දිමුත්ගේ දැවීයාමෙන් පසුව ලකුණු 38 ක් ඇතුළතදී ශ්‍රී ලංකා පිලේ කඩුලු 4 ක් ඇද වැටිණ. 


කෙසේ වෙතත් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ රොෂේන් සිල්වා පසුපෙළ පිතිකරුවන් සමග එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට වඩා ඉදිරියට ගෙන ගියේය. 


“රොෂේන් දඟ පන්දු යවන්නන් හමුවේ ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙන පිතිකරුවෙක්. අපි ඒක දිල්ලි ටෙස්ට් තරගයේදීත් දැක්කා. එදා එයා රවීන්ද්‍ර ජදේජා වගේම රවිචන්ද්‍රන් අශ්වින් හමුවේත් ඉතාම හොඳින් පන්දුවට පහර දුන්නා. 


“ඔහු ලකුණු ලබාගැනීමේ අවස්ථාව අනෙක් පිතිකරුවාත් සමග මාරු කරගන්නා විට පන්දු යවන්නන්ට කිසියම් ඉලක්කයක් ඇතිව පන්දු යැවීම අමාරුයි. අකිලයි රොෂේනුයි පන්දුවට පහර දෙද්දි වුණේ ඒකම තමයි” යයි රොෂේන් සිල්වා සමග වසර හතරක් එකම පාසල් කණ්ඩායමේ ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න පැවසීය. 


අදහස් (0)

එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.