Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත බලාපොරොත්තු වැස්සට සේදෙයි

එංගලන්ත බලාපොරොත්තු වැස්සට සේදෙයි

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරගාවලිය 3-0 ක් ලෙසින් පරාජය වී තිබියදීත් සටන අත් නොහළ එංගලන්ත කණ්ඩායමට සිවුවැනි අළු බඳුන තරගය ජයගැනීම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තැබිය හැකි වූවත් මෙල්බර්න් ක්‍රීඩාංගණයට අකාලයේ කඩාවැදුණු වර්ෂාව එම බලාපොරොත්තු බොඳ කර දැමීය. තරගයේ සිව්වැනි දිනය වූ අද (29 වැනිදා) පෙරවරුවේදීම කඩුලු දෙකක් දවාගනිමින් ඕස්ට්‍රේලියාව අමාරුවේ දැමූ එංගලන්ත පන්දු යවන්නන්ට දිවා ආහාරයෙන් පසුව ක්‍රීඩාගාරයට වී සුසුම් හෙළමින් කල් යැවීමට සිදුවිය.

මේ අතර තරගයේ විස්තර විචාරයන් ලෙසින් කටයුතු කරන ඕස්ට්‍රේලියානු පිලේ හිටපු ක්‍රීඩකයන් කියන්නේ එංගලන්ත පන්දු යවන්නන් පන්දුව පළුදු කළ බවත් ජේම්ස් ඇන්ඩසන් ඒ සඳහා තමන්ගේ මහපටැඟිල්ල යොදාගත් බවත්ය. එහෙත් ඒ සම්බන්ධයෙන් තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතාට නිල වශයෙන් පැමිණිල්ලක් කර නැත. ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩක කුමාර ධර්මසේන සහ ඉන්දීය විනිසුරු සුන්දරම් රවී යන මහත්වරු මෙම තරගය විනිශ්චය කරති.

වර්ෂාව නිසා තරගය නතර කරන විට කඩුලු 2 කට ලකුණු 103 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානුවෝ මේ වන විට තරගය බේරා ගැනීමේ සීමාවට පැමිණ සිටිති. කඩුලු 8 ක් අතැතිව සිටින ඕස්ට්‍රේලියානුවන්ට තරගයේ එක දිනයක් පමණක් ඉතිරිව ඇති අතර නායක ස්ටීවන් ස්මිත් (නොදැවී 25) සහ උපනායක ඩේවිඩ් වෝනර් (නොදැවී 40) කඩුල්ලේ රැඳී සිටිති.

“මේ වගේ තණතීරුවක පන්දු යවන්නකුට කළ හැකි වැඩි දෙයක් නෑ. එකම දේ තමයි නියමිත ඉලක්කයක් ඇතිව පන්දු යැවීම”

“මේ හාදයෝ දෙන්නාව හෙට උදේම ගලවගන්න අපට පුළුවන් වුණොත් තරගය දිනන්න පොඩි උත්සාහයක් දරන්න පුළුවන්” යයි එංගලන්ත පුහුණුකරු ටේ‍රවර් බේලිස් මහතා පැවසීය.

ඕස්ට්‍රේලියානු පුහුණුකරු ඩැරන් ලීමන්  මහතා කියන්නේ මෙම තණතීරුවේදී පන්දුව ගලාඒම එන්න එන්නම මන්දගාමී වන බැවින් පන්දුවට පහරදීම අභියෝගයක් විය හැකි බවයි. ඕස්ටේ්‍රලියානු දෙවැනි ඉනිමේදී ලකුණු 65 ක් තුළ කඩුලු දෙකක් බිඳ වැටුණ නමුත් ස්ටීවන් ස්මිත් සහ වෝනර් දෙදෙනා එක්ව ලකුණු සංඛ්‍යාව 103 ක් දක්වා ඉහළ දැමූහ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලිය ජයගෙන සිටියද ආරම්භක පිතිකරු ඇලිස්ටෙයාර් කුක්ගේ අපරාජිත ලකුණු 244 නිසා මුල් ඉනිමේදී වාසියක් ලබාගත් එංගලන්ත පිල තරගයේ ජයග්‍රහණයක් සම්බන්ධයෙන් බලාපොරාත්තු ඇතිකරගත්තේය.

කඩුලු 9 කට ලකුණු 491 ක් ලබා සිටියදී අද පෙරවරුවේදී තරගය ආරම්භ කළ එංගලන්ත පිලේ අවසන් කඩුල්ල දිනයේ යැවූ පළමු පන්දුවේදීම බිඳ වැටිණ. ඒ සමගම ටෙස්ට් ඉනිමක ආරම්භයේ සිට අවසානය දක්වා කඩුල්ල රැකගත් ක්‍රීඩකයකු විසින් වාර්තා කරන ලද  වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ඇලිස්ටෙයාර් කුක් විසින් හිමිකරගන්නා ලදි. ටෙස්ට් ඉනිමක ආරම්භයේ සිට අවසානය දක්වා කඩුල්ල රැකගත් ක්‍රීඩකයකු මීට පෙර ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 1972 දී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ග්ලෙන් ටර්නර් ලබාගත් ලකුණු 223 යි

 


අදහස් (0)

එංගලන්ත බලාපොරොත්තු වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.