Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උපරිම හැකියාව තවම දැක්කේ නෑ

උපරිම හැකියාව තවම දැක්කේ නෑ

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේ ඉපෝහිදී පැවැත්වෙන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ පළමු තරගයේදී පිලිපීනයට එරෙහිව තම කණ්ඩායමේ උපරිම හැකියාව ප්‍රදර්ශනය නොවූ බව ශ්‍රී ලංකා පිලේ නායක රොෂාන් වීරරත්න එම තරගයෙන් පසුව පැවසීය.

එම තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 24-13 ක පහසු ජයක් ලැබීමට සමත් විය.

තරගයෙන් පසුව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ වීරරත්න මෙසේ ද පැවසීය.
“ඇත්තටම ගොඩක් සතුටුයි. අපිට මීට වඩා කරන්න තිබුණා. මේ අපේ උපරිමය නොවෙයි. නමුත් සියලුම දෙනා හොඳට ක්‍රීඩා කළා. මේක අපේ කණ්ඩායමේ පළමු තරගය. කාලගුණයත් එක්ක ටිකක් අමාරු වුණා. ජය ලැබීම සතුටක්. වැරදි ටික හදාගෙන ඊළඟ තරගයට එනවා”

රොෂාන් වීරරත්න

පිලිපීනය තරගයේ අවසන් මිනිත්තු කීපයේදී උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කිරීම පිළිබඳව වීරරත්න මෙසේ පැවසීය.

“මම හිතන්නේ පිලිපීන පිලට අවසන් මොහොතේ ලකුණු 10 ක් ලබා ගන්න අවස්ථාව ලැබුණේ අපේ වරදින්. එක්කෙනෙක්ට කියලා දොස් කියන්න බෑ. අපේ වෙනස්කම් වුණා. ඇත්තටම කියනවා නම් ක්‍රීඩාංගණයේ තෙතබරිත වීම නිසා ලිස්සන ගතියක් තිබුණා. ඒකම කියලත් කියන්න බෑ. අපේ වැරැද්දෙන් තමයි ඒ අවස්ථාව ලැබුණේ”

තරගයේ තීරණාත්මක සාධකය පිළිබඳව වීරරත්න මෙසේ අදහස් දැක්වීය.

“මම තීරණාත්මක සාධයක හැටියට දකින්නේ තිළිණ විජේසිංහ දඬුවම් පහරවලින් ලබාගත් ලකුණු සංඛ්‍යාවයි. ඒ නිසා තමයි අපි ආරම්භයේ සිටම දිරියට ගියේ. සමහර විට මමත් ධර්මපාලත් එකතු වෙලා ලබාගත් උත්සාහක දිනුමෙන් වෙනසක් වුණා කියලත් කියන්න පු`ඵවන්. නමුත් සියලුම දෙනා හොඳටම ක්‍රීඩා කළා”

“තිළිණ ඔහුගේ පළමු තරගාවලියේදී ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව ගොඩක් සතුටුයි. ඔහු ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව මම පෞද්ගලිකව ගොඩක් සතුටු වෙනවා. ඔහු මා සමඟ තමයි හිටියේ. මාත් එක්ක ගොඩක් කථා කළා. ඔහු රට ගැන හිතලා ක්‍රීඩා කරයි කියලා තමයි මම හිතන්නේ”

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ෆාසිල් මරිජා ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා පිලේ නායකයා මෙසේ බලාපොරොත්තු සහගතව අදහස් පළ කළේය.

“ඔහු ඉස්සර වගේම තාම ක්‍රීඩා කරනවා. පසුගිය වසර 10 කට පෙර දැක්කා වගේමයි ඔහු ක්‍රීඩා කළ විලාසය. මම හිතනවා ඔහු ඉදිරි තරගවලදීත් මේ විදියටම ක්‍රීඩා කරයි කියලා”

තරගාවලියේ පළමු දිනය වූ පෙරේදා (14) දෙවැනි තරගයේදී සත්කාරක මැලේසියානු පිල ලකුණු 36-22 කින් එක්සත් අරාබි එමිර් රාජ්‍යය පරාජය කළේය.

මැලේසියාව එම තරගයේදී අතිරේක ප්‍රසාද ලකුණක් ද ලබා ගැනීම නිසා ප්‍රසාද ලකුණු 5 ක් ලබා පළමු ස්ථානයට පැමිණි අතර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 4 ක් ලබා දෙවැනි ස්ථානයේ පසු වෙයි.

ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය හෙට (17) එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිලට එරෙහිව පැවැත්වේ. ශ්‍රී ලංකා පිල අද (16) පස්වරුවේ අවසන් පුහුණු සැසියට සහභාගි වීමට සූදානමින් සිටියි.

ඉපෝ ප්‍රදේශයට මේ දිනවල පස්වරුවේ වර්ෂාව ඇද හැළෙන අතර එය ඇතැම් විට පුහුණු සැසියට බාදාවක් විය හැකිය. ඉපෝ නගර සභා ක්‍රීඩාංගණයේ පුහුණුවීම සඳහා වන කුඩා ක්‍රීඩාංගණය වර්ෂාව හේතුවෙන් දැඩි තෙත බරිත තත්ත්වයකට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින් දහවල් කාලේ දැඩි හිරු රෂ්මියත් සවස් කාලයේ වාර්ෂාව ලැබීමත් යන කාලගුණ තත්ත්වයට සමාන කාලගුණ තත්ත්වයක් ඉපෝ ප්‍රදේශයේද පවතියි.

 


අදහස් (0)

උපරිම හැකියාව තවම දැක්කේ නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.