
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ පළමු කොටස යටතේ චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති තරගයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 72 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
මෙම ජයත් සමග තවදුරටත් අවසන් පූර්ව වටය කෙරෙහි බලාපොරොත්තු රඳවාගැනීමටද ඉන්දියාවට හැකි විය.
එහිදී ලැබූ පරාජය හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම අවසන් පූර්ව වටය කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු සුන් වී ගියේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 257 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ පිලට ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 6 දැවී ලබාගත හැකි වූයේ ලකුණු 184 ක් පමණි. එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ අර්ෂ්දීප් සිං ඕවර 4 ක් යවමින් ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගත්තේය.
සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු බ්‍රයන් බෙනට් පන්දු 59 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 97 ක් රැස්කළත්, ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය. නායක සිකන්දර් රාසා පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 31 ක් ලබා සිටියදී දැවී ගියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 4 ක දැවී ලකුණු 256 ක් ලබාගත්තේය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම විස්සයි-20 ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවද මෙය විය. ඉන්දීය ඉනිමේ අග භාගයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ හර්දීක් පාණ්ඩ්‍යා හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 23 කින් ලකුණු 50 ක් රැස්කළේය.
තිලක් වර්මා (නොදැවී 44) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පාණ්ඩ්‍යා සමත් වූ අතර පන්දු 16 කදී වාර්තා වූ වර්මාගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා පන්දු 30 කින් වේගවත් ලකුණු 55 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
සංජු සැම්සන් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 24 ක්ද, ඉෂාන් කිෂන් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 38 ක්ද, නායක සූර්යකුමාර් යාදව් පන්දු 13 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 33 ක්ද රැස්කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑම සඳහා දායකත්වය සැපයූහ.
ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 256
(සංජු සැමසන් 24, අභිෂේක් ශර්මා 55, ඉෂාන් කිෂන් 38, සූර්යකුමාර් යාදව් 33, හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 50, තිලක් වර්මා නොදැවි 44)
සිම්බාබ්වේ - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 184
(බ්‍රයන් බෙනෙට් නොදැවී 97, තඩිවනාෂේ මරුමානි 20, සිකන්දර් රාසා 31, අර්ෂ්දීප් සිං 24/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.