Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇන්ජලෝ - අසේල - තිසර මනිපාල් පිල දිනවති
ප්‍රවීණයන්ගේ වි20 තරගාවලිය

ඇන්ජලෝ - අසේල - තිසර මනිපාල් පිල දිනවති

editorial - 2023 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇන්ජලෝ පෙරේරාගේ සහ අසේල ගුණරත්නගේ දක්ෂ පිතිහරඹය හමුවේ ඊයේ (7 වැනිදා) පැවැති සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයේදී ඉන්දියා කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් ප්‍රවීණයන්ගේ විස්සයි-20 තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට මනිපාල් ටයිගර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 178 ක ඉලක්කයක් හඹාගිය මනිපාල් ක්‍රීඩකයෝ, ඕවර 18.4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ අසේල ගුණරත්න පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 39 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

ඇන්ජලෝ පෙරේරා (35) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 24 කදී ලකුණු 41 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අසේල, ඉන් නොනැවතී කොලින් ඩි’ග්‍රෑන්ඞ් හෝම් (නොදැවී 38) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 57 ක නොබිඳුණු සම්බන්ධතාවක්ද ගොඩනගමින් මනිපාල් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

පන්දු 27 කට මුහුණදුන් ඇන්ජලෝ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 24 කදී වාර්තා වූ ග්‍රෑන්ඞ්හෝම්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. මනිපාල් කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් චැඞ්වික් වෝල්ටන් පන්දු 18 කින් ලකුණු 33 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියා කැපිටල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 කට ලකුණු 177 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ කෙවින් පීටර්සන් පන්දු 27 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 56 ක් රැස්කළේය. බෙන් ඩන්ක් (28) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩගැනීමටද පීටර්සන් සමත් විය. 

මනිපාල් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ තිසර පෙරේරා ලකුණු 20 කට කඩුලු 3 ක්ද, මිචෙල් මැක්ලෙනගන් ලකුණු 28 කට කඩුලු 3 ක්ද දවාගැනීමට සමත් වූහ. එහිදී පීටර්සන් සහ බෙන් ඩන්ක් අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව නිමාවට පත්කරනු ලැබුවේද තිසර පෙරේරා විසිනි.

 
ඉන්දියා කැපිටල්ස් - ඕවර 20 කදී කඩුලු 9 කට 177 
(කිර්ක් එඞ්වඞ්ස් 24, භාරත් චිප්ලි 16, කෙවින් පීටර්සන් 56, බෙන් ඩන්ක් 28, ඉසුරු උදාන නොදැවී 26, තිසර පෙරේරා 20/3, මිචෙල් මැක්ලෙනගන් 28/3) 

මනිපාල් ටයිගර්ස් - ඕවර 18.4 කදී කඩුලු 4 කට 181 
(කැඞ්වික් වෝල්ටන් 33, ඇන්ජලෝ පෙරේරා 35, අසේල ගුණරත්න නොදැවී 39, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් නොදැවී 38) 

-036 


අදහස් (0)

ඇන්ජලෝ - අසේල - තිසර මනිපාල් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.