Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකා රග්බි පිල ඉවතට

ආසියානු ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකා රග්බි පිල ඉවතට

editorial - 2023 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

චීනයේ හංජෝ නුවරදී ආරම්භ වන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි කුසපත් ඇදීම අනුව ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් කර ඒ වෙනුවට ආසියාවේ තවත් නැගී එන කණ්ඩායමක් වන නේපාලය ඇතුළත් කර තිබේ. අගෝස්තු 22 අඟහරුවාදා ප්‍රකාශයට පත්කළ තරග කාල සටහන අනුව ශ්‍රී ලංකාවේ ස්ථානයට අවසන් මොහොතේදී ඇතුළත් වූ නේපාලය, හොං කොං සහ පිලිපීනය ‘ඒ’ කාණ්ඩයට ඇතුළත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වසරකට ආසන්න කාලයක් තිස්සේ විවිධ අර්බුද වලට මුහුණ දී සිටී. වාර්තාවන තොරතුරු අනුව ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියට ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයත්, ශ්‍රී ලංකා රග්බි ස්ථාවරකරණ කමිටු නිලධාරීන් මෙන්ම ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන්ද බලවත් උත්සාහයක් ගෙන ඇතත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක වී තිබේ. ඒ අනුව අවසන් මොහොතේදී ශ්‍රී ලංකාවේ ස්ථානයට නේපාලය ආදේශ කරමින් කුසපත් ඇදීම කරන ලදි.

ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රීඩකයන් 38 දෙනකුගෙන් යුත් සංචිතයක් ද නම්කර තිබිණ. එහෙත් රග්බි නිලධාරීන් සහ ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් විසින් යවනු ලැබිය යුතු ලියකියවිලි නිසි වේලාවට නොයැවීම නිසා  ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාව අහිමි වී තිබේ.

තත්ත්වය එසේ වුවද, නේපාලය ඇතුළත් කළ තරග කාලසටහන වහාම වෙනස් කරමින් අලුත් කුසපත් ඇදීමකට සූදානම් වන ලෙස ආසියානු ඔලිම්පික් කමිටුවේ විධායක අධ්‍යක්‍ෂ විනෝද් තිවාරි මහතා ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරග කමිටුවට නියෝග කර ඇතැයි ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවසීය. ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සිදුවූයේ කුමක් ද යන්න කළ විමසීමේදී ඉහත නියෝගය පිළිබඳ තොරතුරු හෙළිකළ සුබ්‍රමනියම් මහතා නව කුසපත් ඇදීම හෙට හෝ අනිද්දා සිදුවනු ඇතැයි ද පැවසීය.

“ඔලිම්පික් ප්‍රඥප්තියේ හැටියට, අපරාධ චෝදනා හෝ මත්ද්‍රව්‍ය චෝදනා නැතිනම්, කිසිම ක්‍රීඩාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදීමෙන් වළක්වන්න බෑ. ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩකයන් මේ තරගාවලියට සහභාගි වෙන්නම ඕනා.”

“ඒ හින්දා වහාම අලුත් කුසපත් ඇදීමකට යා යුතුයි කියලා ආසියානු ඔලිම්පික් කමිටුවේ විධායක අධ්‍යක්‍ෂ විනෝද් තිවාරි මහතා ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරග කමිටුවට නියෝග කරලා තියෙනවා” යයි ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ලංකාදීපයට පැවසීය.


ආසියානු ක්‍රීඩා උළෙලේ (පිරිමි) සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා කණ්ඩායම් කාණ්ඩගත කිරීම

ඒ කාණ්ඩය :
හොං කොං, පිලිපීනය සහ නේපාලය

බී කාණ්ඩය :
දකුණු කොරියාව, මලයාසියාව සහ චීන තායිපේ

සී කාණ්ඩය :
ජපානය, සිංගප්පූරුව සහ තායිලන්තය

ඩී කාණ්ඩය :
එමිරේට්ස්, චීනය සහ ඇෆ්ඝනිස්ථානය


අදහස් (0)

ආසියානු ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකා රග්බි පිල ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.