Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අසේල පිතිහරඹයෙන් ශූරතාව මනිපාල් පිලට
ප්‍රවීණයන්ගේ ලීගය

අසේල පිතිහරඹයෙන් ශූරතාව මනිපාල් පිලට

editorial - 2023 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අසේල ගුණරත්නගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඊයේ (9 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී අර්බන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කළ මනිපාල් ටයිගර්ස් කණ්ඩායම මෙවර (2023) ප්‍රවීණයන්ගේ විස්සයි-20 ලීගයේ ශූරතාව දිනාගැනීමට සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය මනිපාල් ක්‍රීඩකයෝ, පන්දු 6 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ අසේල ගුණරත්න පන්දු 29 කදී හයේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 51 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

ආරම්භක පිතිකරු රොබින් උතප්පා පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 40 ක් රැස්කළ අතර ඇන්ජලෝ පෙරේරා පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 30 ක්ද, තිසර පෙරේරා පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක්ද රැස්කරමින් මනිපාල් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායකත්වය දැක්වූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් අර්බන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් ලබාගත් අතර එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රිකී ක්ලාර්ක් පන්දු 52 කින් ලකුණු 80 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. 

ගුරුකීට් සිං (64) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 122 ක දැවැන්ත සමබන්ධතාවක් ගොඩනැගීමටද රිකී ක්ලාර්ක් සමත් වූ අතර පන්දු 36 කදී වාර්තා වූ ගුරුකීට්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය. 

පිත්තෙන් දැක්වූ දස්කම් හේතුවෙන් අසේල අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර තරගාවලිය පුරා ලකුණු 108 ක් රැස්කරමින් සහ කඩුලු 8 ක්ද බිඳහෙළමින් දැක්වූ දස්කම් හේතුවෙන් තිසර තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. 


අර්බන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 187 
(ඞ්වේන් ස්මිත් 21, රිකී ක්ලාර්ක් 80, ගුරුකීට් සිං 64, පීටර් ටේ්‍රගෝ 17, පංකජ් සිං 43/2) 

මනිපාල් ටයිගර්ස් පිල - ඕවර 19 කදී කඩුලු 5 කට 193  
(රොබින් උතප්පා 40, චැඞ්වික් වෝල්ටන් 29, ඇන්ජලෝ පෙරේරා 30, අසේල ගුණරත්න නොදැවී 51, තිසර පෙරේරා 25, ස්ටුවර් බිනී 20/3) 

-036 


අදහස් (0)

අසේල පිතිහරඹයෙන් ශූරතාව මනිපාල් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.