Last Update  :  2025-05-09 11:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවශ්‍යම මොහොතේදී නියම බෙහෙත
සිංහ - කැන්ගරු සටන

අවශ්‍යම මොහොතේදී නියම බෙහෙත

editorial - 2022 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ සිට)

වසර 30 කට ඉහතදී (1992 දී) කොළඹ ඕවල් පිටියේදී අර්ජුන රණතුංග කළ වික්‍රමය, එහෙම පිටින්ම කළ දසුන් ශානක, අද (11 වැනිදා) පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 4 ක විශිෂ්ට ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියේය. එදා, ක්‍රෙග් මැක්ඩමර්ට්ගේ අවසන් ඕවරයේදී ලකුණු 20 ක් ලබාගත් අර්ජුන රණතුංග, පළමුවැනි එක්දින තරගය ජයග්‍රහණය කළාක් මෙන්, අද යැවුණු අවසන් ඕවරයේදී ලකුණු 19 ක් ලබාගත් දසුන් ශානක, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

කේන් රිචඩ්සන් විසින් යවන ලද අවසන් ඕවරය වයිඩ් පන්දු 3 කින් සමන්විත විය. ජයග්‍රහණය සඳහා ලකුණු 19 ක් අවශ්‍ය වූ එම ඕවරයේදී ලකුණු ලබාගැනීම සටහන් වූයේ (ව-1), (ව-1), (1), (පා.ල.-1), (4), (4), (6) සහ (ව-1) ලෙසිනි. අවසන් පන්දු දෙකකින් ලකුණක් ලබාගැනීමට තිබියදී, කේන් රිචඩ්සන්ගේ තුන්වැනි වයිඩ් පන්දුවෙන් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සම්පූර්ණ විය.

පල්ලෙකැළේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් නමුත් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙසින් ඕස්ටේ්‍රලියානුවන් විසින් ජයගන්නා ලදි. එහෙත් විස්සයි-20 තරග 5 ක් එක දිගට පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට පමණක් නොව, ඉදිරියේ එන එක්දින තරගාවලිය සඳහාත් “මෙම ජයග්‍රහණය අවශ්‍යම මොහොතේදී ලද නියම බෙහෙත” විය.

තරගයේ අවසන් ඕවර 5 ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු සියල්ලම සුළඟේ ගසාගෙන ගොස් තිබිණ. කඩුලු 5 ක් අහිමි වී තිබූ ලකුණු පුවරුවේ සටහන්ව තිබුණේ ලකුණු 102 කි. ජයග්‍රහණයට තවත් ලකුණු 75 ක් අවශ්‍ය විය.

තවත් පන්දු 4 කින් වනිඳු හසරංගත් දැවීයාම, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ අතුරු සිදුරු නැතිව පිරී සිටි නරඹන්නන්ගේ මුහුණු ඇඹුල් කළද, ජායි රිචඩ්සන්ගේ එම ඕවරයෙන් ලකුණු 10 ක් ලැබිණ.

හදිසියේම තරගයේ රිද්මය වෙනස් වූයේ, එතෙක් ඕවර 3 කදී ලකුණු 03 කට කඩුලු 2 ක් දවාගෙන සිටි ජොෂ් හේසල්වුඩ් හමුවේ අනුකම්පා විරහිත ප්‍රහාරයක් ආරම්භ කළ දසුන් ශානක, පන්දු 5 කින් ලකුණු 21 ක් උදුරා ගැනීමෙනි. ජායි රිචඩ්සන් විසින් යවන ලද ඊළඟ ඕවරයේදී ලකුණු 18 ක් උදුරාගත් දසුන් සහ කරුණාරත්න දෙදෙනා, අවසන් ඕවරයේදී ඉලක්කය ලකුණු 19 ක් තරම ආසන්නයට ඇදගත්හ.

නරඹන්නෝ සිය පා ඇඟිළි තුඩු මත සිටගෙන සිටියහ. වයිඩ් පන්දු දෙකකින් ආරම්භ වූ කේන් රිචඩ්සන්ගේ ඕවරයට දසුන්ගෙන් හතරේ පහර දෙකක් සහ හයේ පහරක් එක්වීමත් සමගින් තරගයේ ඉරණම ලියැවිණ. එය සහතික කිරීමට අවශ්‍ය වූයේ තවත් එක ලකුණකි. කේන් රිචඩ්සන්, වයිඩ් පන්දුවකින් එය ගෙනැවිත් දුන්නේය.

පන්දු 25 කින් ලකුණු 54 ක් ලබාගත් දසුන් ශානකගේ ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහර 4 කින් සමන්විත විය. දසුන් සහ චාමික කරුණාරත්න අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 69 ක සම්බන්ධතාවට වැයවූයේ ද පන්දු 25 කි.
කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානුවෝ පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්හ.

විදුලි වේගයෙන් ක්‍රියාත්මක වෙමින්, අකුණු සැර වැනි පහර කිහිපයකින් පන්දුව නරඹන්නන් අතරට යැවූ මාකස් ස්ටොයිනිස්, ස්ටීවන් ස්මිත් සහ මැතිව් වේඩ් තිදෙනා ඕස්ට්‍රේලියානුවන් විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක ශූරයන් වී සිටින්නේ කිමද යන්න මහනුවර ක්‍රීඩාලෝලීන්ට කදිමට කියා දුන්නේ නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 5 කට ලකුණු 176 ක් ලබාගැනීමෙනි.

එක පිට එක යැවුණු පන්දු 3 කදී ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනකු වන ග්ලෙන් මැක්ස්වෙල් (16), ඩේවිඩ් වෝනර් (39) සහ ජොෂ් ඉංග්ලිෂ් (0) යන තිදෙනාම දැවී ගියත්, ඕස්ට්‍රේලියානුවන්ගේ කඩුලු 5 කට වඩා දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකි විය. ඉනිමේ බර කරට ගත් ස්ටීවන් ස්මිත්, ඉනිම නිමවා ක්‍රීඩාගාරයට ගියේ පන්දු 27 කින් ලකුණු 37 ක් රැස්කරමිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 85 ක්ව තිබියදී කඩුලු 3 ක් බිඳවැටීමෙන් පසුව එක්වූ ස්ටීවන් ස්මිත් සහ මාකස් ස්ටොයිනිස් අතර ලකුණු 48 ක සම්බන්ධතාවට පන්දු 34 ක් පමණි. එතැන් සිට ස්මිත් සහ මැතිව් වේඩ් අතර ලකුණු 43 ක සම්බන්ධතාවට පන්දු 24 කි.

ඕස්ට්‍රේලියානුවන්, ස්ටීවන්  ස්මිත් මෙම තරගාවලියට කැඳවාගෙන ආවේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔහුට අවශ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම දීමේ බලාපොරොත්තුවෙනි. එහි උපරිම ප්‍රතිඵල ලබාගත්  ඕස්ට්‍රේලියානුවෝ කණ්ඩායමේ සිටින වඩාත්ම පළපුරුදු ක්‍රීඩකයා අවශ්‍ය තැනදී කදිමට යොදවා ගත්හ.

මාකස් ස්ටොයිනිස්ට තිබුණේ පුදුමාකාර වාසනාවකි. පිට ඉන්න එල්ලයේ ඇදී ගිය වනිඳු හසරංගගේ පන්දුවක්, ස්ටොයිනිස්ගේ පිත්තේ පිටත දාරයේ වැදී ඉවත ගියේ පිතිකරුවාත් අන්ද මන්ද කරමිනි. ස්ටොයිනිස් පවා සිතුවේ තමන් දැවී ගිය බවකි. ලකුණු සංඛ්‍යාව 133 ක් ව තිබියදී ඔහු කඩුල්ල ආවරණය කිරීමේ වරදට හසුවූයේ යයි විනිසුරු කුමාර් ධර්මසේන මහතා තීරණය කළද, විතීවි සහයෙන් ස්ටොයිනිස් කඩුල්ල රැකගත්තේය. එහෙත් ඊළඟ පන්දුවේදී ස්ටම්ප් කිරීමට හසුවිය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගාවලිය ලබන 14 වැනිදා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීම ආරම්භ වේ.


අදහස් (0)

අවශ්‍යම මොහොතේදී නියම බෙහෙත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.