Last Update  :  2024-05-18 14:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි

අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්වයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩාය හෙට (15 වැනිදා) ඩකා නුවර ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව සිය සංචාරයේ විස්සයි20 පළමු තරගයට සහභාගීවේ.

බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමග පැවැති තුන්කොන් එක්දින තරගාවලිය මෙන්ම බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියද ජයගත් ශ්‍රී ලංකාව, මේ වන විට විස්සයි20 තරගාවලියද ජයගනිමින් පූර්ණ තරග මාලා ජයක් අත්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.

කෙසේ වුවත් බංග්ලාදේශ කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ සිය රට තුළදීම එක්දින තරගාවලියේදී මෙන්ම ටෙස්ට් තරගාවලියේදීද ශ්‍රී ලංකාව හමුවේ ලැබූ පරාජයේ අවමානයෙන් යම්තාක් හෝ ගැලවීමේ අරමුණෙනි. කෙසේ හෝ විස්සයි20 තරගාවලිය ජයගනිමින් සිය අභිමානය රැකගැනීම ඔවුන්ගේ එකම බලාපොරොත්තුව බවට පත් වී තිබේ.

කෙසේ වුවත් කණ්ඩායම් දෙකම පළමු විස්සයි20 තරගයට සහභාගි වන්නේ ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනෙක් නොමැතිවය. විවිධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සහ කුසල් පෙරේරාගේ සේවය අහිමි වී තිබේ. බංග්ලාදේශටද මුෂ්ෆිකුර් රහීම්ගේ සහ මෂ්රෆී මොටාසාගේ සේවය අහිමි වී තිබේ. බංග්ලාදේශ කණ්ඩායමේ නිත්‍ය නායක සකීබ් අල් හසන්ද පළමු විස්සයි20 තරගයට සහභාගී නොවන අතර දෙවැනි තරගයටද ඔහුගේ සහභාගීත්වය අවිනිෂ්චිත තත්ත්වයක පවතී.

කුසල් පෙරේරා වෙනුවට මුල් පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කෙරුණද, අද පැවැත්වෙන තරගයේදී ඔහුට අවස්ථාවක් හිමිවීම අවම තත්ත්වයක පවතී. මුෂ්ෆිකුර් රහීම් වෙනුවට කඩුලු රකින ක්‍රීඩක මොහොමඞ් මිතුන්ද, සකීබ් අල් හසන් වෙනුවට වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක නස්මුල් ඉස්ලාම්ද බංග්ලාදේශ සංචිතයට කැඳවා සිටිති.

ඒ අනුව අද තරගයේදී දිනේෂ් චන්දිමාල් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමද, මහමදුල්ලා රියාද් විසින් බංග්ලාදේශ කණ්ඩායමද මෙහෙයවනු ඇත. 2013 වසරේ සිට 2017 වසර දක්වා විස්සයි20 තරග 22 කදී චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරග 10 කදී පමණක් ශ්‍රී ලංකාව ජයගෙන තිබේ. සෙසු තරග 12 පරාජයවී තිබේ.

මේ වන විට කුමාර් සංගක්කාර සමග එක්ව වැඩිම විස්සයි20 තරග සංඛ්‍යාවකදී (තරග 22 බැගින්) ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ සම වාර්තාවටද චන්දිමාල් හිමිකම් කියන අතර අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීමත් සමග එම වාර්තාවේ තනි අයිතිය ඔහුට හිමිවනු ඇත.

මේ දක්වා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි20 තරග 7 ක් පවත්වා තිබේ. ඉන් 5 ක් ජයගැනීමට ශ්‍රී ලංකාවද, 2 ක් ජයගැනීමට බංග්ලාදේශයද සමත්ව තිබේ. අද තරගය පැවැත්වෙන ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී මෙම කණ්ඩායම් දෙක මීට පෙර මුණගැසී ඇත්තේ එක් අවස්ථාවකදී පමණක් වන අතර 2016 වසරේ පෙබරවාරි මස පැවැති එම තරගයෙන් ලකුණු 23 ක ජයක් අත්කරගැනීමට බංග්ලාදේශය සමත් වී තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය පසුවෙන්නේ එහි 10 වැනි ස්ථානයේය. යම් හෙයකින් ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී පරාජයටපත් වුවහොත් ශ්‍රේණිගත කිරීම්හි පහළට ඇද වැටීමේ අවදානමක් පවතී. එසේ වුවහෙත් පළමු වරට ඇෆ්ගනිස්තානය විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි හිදි ශ්‍රී ලංකාව පසුකර ඉදිරියට යනු ඇත.


ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මධුෂංක, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, අමිල අපොන්සු, ජීවන් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු  

බංග්ලාදේශ සංචිතය
මහමදුල්ලා රියාද් (නායක), ටමීම් ඉක්බාල්, සෞම්‍ය සාකර්, නස්මුල් ඉස්ලාම්, සබීර් රෙහෙමාන්, මුස්තෆිසුර් රෙහෙමාන්, රුබෙල් හුසේන්, මොහොමඞ් ශයිෆුඩීන්, අබූ හයිදර්, අබූ ජයේද්, අරිෆුල් හක්, මෙහෙදි හසන්, සකීර් හසන්, මොහොමඞ් මිතුන් සහ අෆීෆ් හුසේන්

 
- 036

 


අදහස් (0)

අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.