Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අතින් ගෙවාගෙන බර්මින්හැම් යති
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා - 2022

අතින් ගෙවාගෙන බර්මින්හැම් යති

editorial - 2022 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමට ඇතුළත්වීමට ක්‍රිෂාන් වික්‍රමරත්න, චමීර ගිණිගේ සහ මිලින්ද ලක්ෂිත යන ක්‍රීඩකයෝ සමත්ව සිටිති. ඔවුන් එම අවස්ථාව හිමිකරගෙන  ඇත්තේ ඊයේ සහ අද (29 සහ 30) ක්‍රීඩා අමාත්‍යංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති තේරීම් තරගාවලියකදී වැඩිම දස්කම් දැක්වූ ක්‍රීඩකයන් තිදෙනා බවට පත්වෙමිනි.

ජූලි මස 28 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියාපදිංචි කිරීම මේ මස 30 වැනිදායින් අවසන් වන බව ජාතික ඔලිම්පික් කමිටුව මෙම වසර මුල සිටම නිවේදනය කර තිබිණ.

මින් පෙර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගි වීමට අවස්ථාව හිමිව තිබුණේ එක් මේසපන්දු ක්‍රීඩකයකුට පමණි. 2020 වසර අවසන්වන විට පැවැති ලෝක මේසපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉදිරියෙන්ම සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස එම අවස්ථාව හිමි වූයේ හිටපු ජාතික ශූර රොහාන් සිරිසේනටය. එහෙත් ඔහු එම අවස්ථාව ප්‍රතික්ෂේප කිරීමත් සමග ඒ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ රොහාන්ට පසුපසින් සිටි සුපුන වරුසවිතානට එම අවස්ථාව හිමිවිය.

ශ්‍රී ලංකාවෙන් මේසපන්දු කණ්ඩායමක් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවීමත් සමග ඒ වෙනුවෙන් තේරීම් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා මේසපන්දු සංගමය පියවර ගත්තේය. ඒ අනුව ජාතික මේසපන්දු ශ්‍රේණිගත කිරීම් අතරේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයන් 10 දෙනා වෙත මේ මස 26 වැනිදා විද්‍යුත් තැපැල් පණිවිඩයක් යොමුකරමින් අදාල තේරීම් තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමට සංගමේ ලේකම්වරයා කටයුතු කර ඇත.

එහිදී මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සෙනුර සිල්වා හැරුණුකොට සෙසු ක්‍රීඩකයන් තේරීම් තරගාවලියට එක්වන බවට ලේකම්වරයාට දැනුම්දී ඇත. ශ්‍රේණිගත කිරීම්හි මුල් 10 දෙනා අතර සිටි ප්‍රවීන ක්‍රීඩක නිර්මල ජයසිංහ පමණක් තමා තේරීම් තරගාවලියට සහභාගි නොවන බව දන්වා ඇත. පෙර සිටම පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා සිටි බැවින් සුපුන තේරීම් තරගාවලියට එක්කර ගෙන නොමැත. ඒ අනුව ක්‍රීඩකයන් 3 දෙදෙනෙක් තෝරාගැනීම සඳහා පැවැති එම තේරීම් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 7 දෙනෙක් සහභාගි වී ඇත.
ක්‍රිෂාන් වික්‍රමරත්න, චමීර ගිණිගේ, මිලින්ද ලක්ෂිත, නිමේෂ් රංචාගොඩ, නුවන්ත නිරෝෂන, ඉසුරු අංජන සහ හිරුණ වරුසවිතාන යන ක්‍රීඩකයෝ තේරීම් තරගාවලියේදී එකිනෙකාට එරෙහිව අවස්ථා දෙකකදී බැගින් තරගවැදී ඇත. එහිදී ලැබූ ලකුණු සහ ඔවුන් සතුව පැවැති ශ්‍රේණිගත ලකුණුවල ප්‍රතිශතයන්ගේ එකතුව අනුව පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාන හිමිකර ගැනීමට ක්‍රිෂාන්, චමීර සහ මිලින්ද සමත්ව ඇත.

පෙර සිටම සුදුසුකම් ලබා සිටින සුපුනට තරගාවලියට සහභාගි වීම සඳහා කිසිඳු මුදලක් වැය නොවන බවත්, එම මුදල ඔහුට ජාතික ඔලිම්පික් කමිටුවෙන් හිමිවනු ඇති බවත් වාර්තා වේ. කෙසේ වුවත් තේරීම් තරගාවලියේදී පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වූ ක්‍රිෂාන්ට සහ චමීරට තරගාවලියට සහභාගි වීම සඳහා වැයවන මුදලින් 50% ක්ද, එහි තෙවැනි ස්ථානයට පත්වූ මිලින්දට තරගාවලියට සහභාගි වීම සඳහා වැයවන මුළු මුදලමද පෞද්ගලිකව සොයාගැනීමට සිදුව තිබේ.

එංගලන්තය බලා යෑම සහ ආපසු ඒම සඳහා වන ගුවන් ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් ලක්ෂ 5 ක්ද, ඒ සඳහා වන අනෙකුත් වියදම් සඳහා රුපියල් ලක්ෂයක්ද වනු ඇතැයි වාර්තා වේ.


මිලින්ද ලක්ෂිත


අදහස් (0)

අතින් ගෙවාගෙන බර්මින්හැම් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.