Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 93 වැනි සුලෝහිත සංග්‍රාමය සෙන. - ඉරිදා
මහ ක්‍රිකට් තරග

93 වැනි සුලෝහිත සංග්‍රාමය සෙන. - ඉරිදා

editorial - 2023 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර ‘ආචාර්ය එන්.එම්. පෙරේරා’ කුසලාන වෙනුවෙන් 93 වැනි වරටත් පවත්වනු ලබන ‘සුලෝහිත සංග්‍රාමය’ මෙම මස 4 සහ 5 යන දිනවල කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම වසරේදී ආනන්ද විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නෙත්ම සමරවීරට හිමිවී තිබේ. දකුණත් පිතිකරු චනුල අතුකෝරල මෙවර නාලන්දා විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 92 න් තරග 12 ක ජය තමන් සතුකර ගැනීමට ආනන්ද විදුහල සමත්ව තිබේ. නාලන්දා විදුහල ජයග්‍රහණය 7 කට හිමිකම් කියයි. තරග 73 ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව තිබේ. අවසන් වරට 2022 වසරේදී පැවැති සුලෝහිත සංග්‍රාමය ජය ගැනීමට නාලන්දා විදුහල සමත් වූ අතර ඔවුන් එම ජයග්‍රහණයට හිමිකම් කීවේ වසර 69 කට පසුව වීම කැපී පෙනෙන සිදුවීමකි.

මෙම මහ ක්‍රිකට් තරගයට සමගාමීව දෙවිදුහල් අතර ආචාර්ය පී. ද එස්. කුලරත්න කුසලානය වෙනුවෙන් 46 වැනි වරට පැවැත්වෙන එක්දින තරගය මෙම මස 12 වැනිදා පැවැත්වේ. මෙතෙක් පැවැති තරග 45 න් තරග 26 ක් ජයගැනීමට නාලන්දා විදුහල සමත්ව ඇති අතර ආනන්ද විදුහල ජයගෙන ඇති තරග සංඛ්‍යාව 15 කි. තරග 4 ක් විසඳුමකින් තොරව නිමාවට පත්වී ඇත.

ආනන්ද විදුහල් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවකු ලෙස සැලකෙන විදුන විජේබණ්ඩාර මෙවර අන්තර් පාසල් තරග වාරයේදී ලකුණු 500 කට වැඩියෙන් රැස්කිරීමට සමත්ව සිටින අතර ඉරුත් ගිම්ෂාන් ලකුණු 450 කට වැඩියෙන් රැස්කරගෙන ඇත. පිට දඟ පන්දු යවන ක්‍රීඩක කිත්ම විදානපතිරණ කඩුලු 40 ක්ද, පා දඟ පන්දු යවන ක්‍රීඩක ආශිංෂ දේෂාන් කඩුලු 37 ක්ද බිඳහෙළමින් ආනන්ද විදුහලේ වැඩිම කඩුලු ලභීන් බවට පත්ව සිටිති.

දක්ෂ පිතිකරුවකු වන රුසිරු විලෝචන නාලන්දා විදුහල වෙනුවෙන් මෙවර අන්තර් පාසල් තරග වාරයේදී ලකුණු 1000 සීමාව ඉක්මවා තිබේ. ඊට ශතක 2 ක් සහ අර්ධ ශතක 6 ක් ඇතුළත් වේ. බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව රැස්කළ ලකුණු 188 රුසිරුගේ හොඳම ඉනිම ලෙස සටහන් වේ. නාලන්දා විදුහලේ කඩුලු ලාභීන් අතර ඉදිරියෙන්ම සිටින මිනෝද් කල්දේරා සහ සජිත විදානගේ පිළිවෙලින් කඩුලු 38 ක් සහ 36 ක් බැගින් බිඳහෙළා ඇත.

දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් වන මෙම පාසල් දෙක මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් තලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ වැඩිම ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් සංඛ්‍යාවද (ක්‍රීඩකයින් 55 කට වැඩි) බිහිකර තිබේ. එම ක්‍රීඩකයින් අතුරින් 6 දෙනකු එනම් දිවංගත බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙහෙවීමේ ගෞරවයටද හිමිකම් කියති.

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක දිවංගත බන්දුල වර්ණපුර නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වන අතර 1996 ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ අර්ජුන රණතුංග කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහිවූ ක්‍රීඩකයකි.

 


ආනන්ද විදුහල් සංචිතය
නෙත්ම සමරවීර (නායක), ආශිංෂ දේෂාන්, අයේෂ් ශෂිමාල්, දිනද සෙනරත්, ඉසුරු වීරසූරිය, ඉරුත් ගිම්ෂාන්, කාංචන ද ලිවේරා, කිත්ම විදානපතිරන, කවීෂ මෙන්ඩිස්, මලීෂ පෙරේරා, විදුන විජේබණ්ඩාර, කෙනුල ද සොයිසා, විලාෂ් කරුණාරත්න, රුවිෂාන් පෙරේරා, යේෂාන් ගුණසිංහ සහ පුලිඳු කිරිඇල්ල

 

නාලන්දා විදුහල් සංචිතය
චනුල අතුකෝරල (නායක), එරංග ජයකොඩි, ආකේෂ් මනෝරත්ත, ඔසද ප්‍රමුදිත, රිසත් ජයරත්න, ජනුල ඉදුසර, රුසිරු විලෝචන, සජිත් විතානගේ, තිමත් හේරත්, සක්මින සේරසිංහ, සදෙව් සමරසිංහ, මිනෝද් කල්දේරා, තිසර දෙවිඳු, කුෂ්මිත සිල්වා, සෙනෙෂ් විජේසිංහ සහ යසිරු සමරකෝන්

 


අදහස් (0)

93 වැනි සුලෝහිත සංග්‍රාමය සෙන. - ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.