Last Update  :  2026-01-19 18:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 2025 ඉතිරි‍ ක්‍රීඩා තරග අධ්‍යාපන අමාත්‍යාංශය නවත්තයි

2025 ඉතිරි‍ ක්‍රීඩා තරග අධ්‍යාපන අමාත්‍යාංශය නවත්තයි

editorial - 2026 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

වසර 2025 දී පැවැත්විය යුතුව තිබුණ නමුත් එහි ඉතිරිව තිබෙන තිබෙන සියලුම පාසල් ක්‍රිඩා තරග මෙම 2026 වසරට පැවැත්වීමට අනුමැතිය නොදෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් මගින් පාසල් ක්‍රීඩා සංගම් වෙත දැනුම්දී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ  (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) ලුතිනන් කර්නල් ජී.ජී.අනුර අබේවික්‍රම මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවට එම නිවේදනයට අත්සන් තබමින් එය දැනුම්දී තිබේ.

එහි දක්වා තිබෙන පරිදි විවිධ හේතුන් මත මග හැරී ගිය හා  2025 වර්ෂයට සැලසුම් කරන ලද තරග 2026 වසරේ පැවැත්වීමට අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලීම් රාශියක් අමාත්‍යාංශයට ලැබෙමින් පවතී.එහෙත් මෙම වසරේ නව පාසල් වාරය ආරම්භ කිරීමත් සමග සාමාන්‍ය ශාස්ත්‍රීය අධ්‍යාපනික කාර්යන්ට අමතරව  නිවාසාන්තර ක්‍රීඩා හා අනෙකුත් විෂය සමගාමී කටයුතු පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

එම  නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන පරිදි පාසල් ක්‍රීඩා සංගම් වලට අදාළ මහ සභා රැස්වීම් මේ වසරේ මාර්තු 15 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු බැවින් 2026 වර්ෂයට අදාළ තරග හා වැඩ සටහන් මාර්තු 31 වැනිදාට පසුව සංවිධානය කළ යුතු බවත් අවධාරණය කර තිබේ. කෙසේවූවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහත තීරණයෙන් 2025 වසරට සංවිධානය කළ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ පැවැත්වීමට ඉතිරිව තිබෙන පාපන්දු තරගාවලියට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි වාර්තාවේ.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා (2025) පාපන්දු තරග මාලාව යටතේ බාලක වයස 20 න් පහළ,17 න් පහළ, හා 15 න් පහළ කාණ්ඩ තරග හා බාලිකා වයස 20 න් පහළ තරග පවත්වා අවසන් කළ යුතුය.එසේ නොවුණ හොත් තරගාවලියට සහභාගි වීමට නියමිත සිසු සිසුවියන්ට 2025 වසර සදහා වන වර්ණ සම්මාන හා සරසවි ප්‍රවේශ ඇගයීමේ ලකුණු අහිමිවීමේ අවදානමක් උද්ගතව තිබෙන බවද පාසල් පාපන්දු සංගම් ආරංචි මාර්ග සදහන් කරයි.

වාර්තා වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි පාසල් ක්‍රීඩා සංගම් ගණනාවක් 2025 වසරට සංවිධානය කළ යුතු සිය වාර්ෂික ක්‍රීඩා  තරග පවත්වා අවසන් කිරීමට මෙතෙක් සමත්ව නැත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සංගම් ගණන 32 කි.

පසුගිය වසර කීහිපයේදී අධ්‍යාපන අමාත්‍යාංශය සමස්ත ලංකා පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය පැවැත්වීමට අපෝහෝසත්ව සිටියි. ඒ අතර එම ක්‍රීඩා උළෙලට තරග වැදීමට නිර්දේශ ලබන සිසු සිසුවියන්ට හිමි දුම්රිය නිදහස් ගමන් බලපත්‍රය ප්‍රදානය කිරීමත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගිය වසරේදී අත්හිටුවනු ලැබීය.

පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව වසරේ  පාසල් පළමු වාරය තුළ පවත්වා අවසන් කළ යුතු වූවත් උදාවූ 2026 වසරේ පළමු වාරය තුළ නිවාඩු වාර කීපයක්ම යෙදී තිබෙන බැවින් මෙවර නිවාසාන්තර ක්‍රීඩා උත්සව සංවිධානයට එයින් දැඩි බාධා එල්ලවී ඇතැයි ද විදුහල්පතිවරුන් පවසයි.


අදහස් (0)

2025 ඉතිරි‍ ක්‍රීඩා තරග අධ්‍යාපන අමාත්‍යාංශය නවත්තයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.