Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 19 න් පහළ ආසියානු රග්බි තරගාවලියට යාමේ උත්සාහයක්

19 න් පහළ ආසියානු රග්බි තරගාවලියට යාමේ උත්සාහයක්

editorial - 2021 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන අප්‍රේල් මාසයේදී තායිපේහිදී  පැවැත්වීමට නියමිත, ආසියානු 19 න් පහළ රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කරවීම ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පළමු අපේක්‍ෂාව වී තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් කල්දමන ලදි.

තරගාවලිය මේ වසරේ අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා අපේක්‍ෂිත තරග කාලසටහනක් ද නිකුත් කර තිබේ.

තරගාවලියට සූදානම් වීම සඳහා ඇති කාලය ඉතාම අල්ප බැවින්ද, වෙනත් 19 න් පහළ කණ්ඩායමක් තෝරාගැනීමේ අවස්ථාවක් නැති හෙයින්ද, වසර 2020 ශ්‍රී ලංකා 19 න් පහළ රග්බි කණ්ඩායම ඊට සහභාගි කරවීම රග්බි ආයතනයේ අපේක්‍ෂාව වී තිබේ. ශ්‍රී ලංකා රග්බි ආයතනය ඒ සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් ආසියානු රග්බි සම්මේලනයෙන් කර ඇතත් තවමත් ඊට අනුමැතිය හිමිවී නැත.

ශ්‍රී ලංකා රග්බි සංමයේ උසස් නිලධාරියකු පැවසූවේ මෙම තරගාවලියට 2020 කනිෂ්ඨ කණ්ඩායම් සහභාගි කරවිම සම්බන්ධයෙන් තවත් රටවල් කිහිපයක්ද ඉල්ලා ඇති නමුත් තවත් රටවල් කිහිපයක් ඒ සම්බන්ධයෙන් එතරම් කැමැත්තක් ප්‍රකාශ කර නැති බවයි.

රග්බි ක්‍රීඩාවේ පුහුණුවීම් කටයුතු නැවතත් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සභාව සමග ශ්‍රී ලංකා රග්බි ආයතනය සාකච්ඡා කර තිබේ. එහෙත් රග්බි යනු පූර්ණ ශාරීරික ස්පර්ශ සහිත ක්‍රීඩාවක් වන බැවින් ඒ සඳහා දැඩි සෞඛ්‍ය නීතිරිති පැනවෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

රග්බි ආයතනයේ අපේක්‍ෂාව වන්නේ කොළඹ, මහනුවර සහ ගාල්ල පදනම් කරමින් සංචිත තුනක් පිහිටුවීමයි. කොරෝනා රෙගුලාසි වලට අනුව ජෛව ආරක්ෂිත බුබුලු නිර්මාණය කිරීමටත්, ක්‍රීඩකයන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාවත් ඉතා වැදගත් වන බැවින් මේ සඳහා විශාල මුදලක් අපේක්ෂා කෙරේ. දේශීය වශයෙන් වන ගමන් වියදම්, පී.සී.ආර්. පරීක්ෂණ, ක්‍රීඩකයින් සඳහා ආහාර සහ නවාතැන් සම්බන්ධයෙන්ද විශාල මුදල්ක වැයවන බැවින් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහාය ඉල්ලා ඇත.

“ඒ සඳහා අවශ්‍ය මුදල් අමාත්‍යංශයෙන් හෝ ලැබිය යුතුයි... නැත්නම් අපට තනියම මේක කරන්න බෑ” යයි නම සඳහන් කිරීමට එපා යයි ඉල්ලීමක් කරමින් රග්බි සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපට පැවසීය.

ඩයලොග් සමාගම මෙම සංචාරයට අර්ධ වශයෙන් අනුග්‍රහය දක්වනු ඇතැයිද අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් කාලය මඳවීම මෙන්ම වර්තමානයේ පාසල් රග්බි තරග නොපැවැත්වීම නිසා සංචිත තුන වෙනුවෙන් ක්‍රීඩකයන් තෝරාගැනීමට මහත් අභියෝගයක් වී තිබේ.

ආසියානු 19 න් පහළ රග්බි ක්‍රීඩාවේ වර්තමාන ශූරතාව හිමි කණ්ඩායම හොං කොං කණ්ඩායමයි. දකුණු කොරියාව, චීන තායිපේ සහ ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේදී ශූරතාව වෙනුවෙන් සටන් වදිති.

මෙම තරගාවලියේ ජයග්‍රාහකයාට කනිෂ්ඨ ලෝක කුසලාන රග්බි තරගාවලියේ ස්ථානයක් හිමිවෙයි.


අපේක්‍ෂිත තරග කාලසටහන

අප්‍රේල් 1
ශ්‍රී ලංකාව සහ හොං කොං අතර
තායිපේ සහ දකුණු කොරියාව අතර

අප්‍රේල් 4
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර
හොං කොං සහ තායිපේ අතර

අප්‍රේල් 7
ශ්‍රී ලංකාව සහ තායිපේ අතර
හොං කොං සහ දකුණු කොරියාව අතර

- 213


අදහස් (0)

19 න් පහළ ආසියානු රග්බි තරගාවලියට යාමේ උත්සාහයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.