Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙරීනාගේ සිහිනය වින්සි බිඳ දමයි

සෙරීනාගේ සිහිනය වින්සි බිඳ දමයි

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2015 සිය වෘත්තීය ටෙනිස් තරග දිවියේ ස්වර්ණමය වසරක් කරගැනීමට නොම්මර එකේ කී‍්‍රඩිකා සෙරීනා විලියම්ස්ට තිබුණු ලොකුම සිහිනය බිඳ දැමූ ඉතාලියේ රොබේටා වින්සි ඊයේ අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 2-6, 6-4ක් සහ 6-4 කින් සෙරිනා පරාජයට පත් කළාය.


මේ වසරේ දී ග‍්‍රෑන්ඞ් ස්ලෑම් තරග 26 කට සහභාගි වී අපරාජිතව සිටි සෙරීනාගේ ආධිපත්‍ය වින්සි හමුවේ බිඳ වැටුණේ කිසිවකුට සිතාගත නොහැකි තරමේ විමතියකින් දෑස් විසල්ව යද්දීය. එය එසේ වෙද්දී සෙරීනාගේ විසල් දෑසින් කඳුළු කැට කඩා වැටෙන්නට පටන් ගෙන තිබිණි.


32 හැවිරිදි වින්සි මෙවර අමෙරිකානු ටෙනිස් තරගාවලියට එද්දී ලෝක ටෙනිිස් කාන්තා ශ්‍රේණිගත කිරීම්වල සිටි පළමු 10 දෙනාට පෙනෙන තෙක් මානයේ නොසිටි කී‍්‍රඩිකාවකි. එබැවින් වින්සි සහ සෙරීනා අතර පැවැති තරගය තනි අශ්වයකුගේ තරගයක් බවට පත්වනු ඇතැයි විචාරකයෝ පළ කළ අනාවැකි පළ කළහ.


සියලූ අනාවැකි බොරු කළ වින්සි පළමු වටය 6-x2 කින් සෙරීනා පහසුවෙන් ජයගැනීමෙන් පසුව දෙවැනි වටයේ සිට ඇගේ සටන්කාමීත්වය පෙන්නුම් කළාය. ඇය අතින් පරාජය වීමට පෙර ලිත් වර්ෂයකදී කාන්තා ටෙනිස් පිටියේ ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 4 ම දිනාගත් ලොව දෙවැනි කී‍්‍රඩිකාව බවට පත්වීමට සෙරීනාට අඩුවී තිබුණේ තවත් තරග දෙකක් පමණි. මීට පෙර එවැනි දස්කමක් කළේ ජර්මනියේ ස්ටෙෆී ග‍්‍රාෆ් පමණි. ඒ 1988 තරගවාරයේදීය.


තරගයෙන් පසුව විචාරකයන් කියා සිටියේ කාන්තා ටෙනිස් ඉතිහාසයේ වඩාත්ම විමතියට පත් තරග අතලොස්සට මේ තරගයත් එක්වනු ඇති බවය.


”මේ පරාජයේ වේදනාව ගැන මට කතා කරන්න  ඕන නෑ”


තරගයේ පරාජයෙන් පසුව පැවැති මාධ්‍ය හමුව ආරම්භයේ දී 33 හැවිරිදි සෙරීනා කීවේ කඳුළු සලමිනි. ඒ වනවිට ඇය පැයකට ආසන්න කාලයක් එක දිගට හ`ඩා වැලපෙමින් සිටියාය.


”වෙන  ඕනම ප‍්‍රශ්නයක් අහන්න” ඇය මාධ්‍යවේදීන්ගෙන් එසේ ඉල්ලා සිටියාය.


”මම නරක විදිහට කී‍්‍රඩා කළේ නෑ. කොහොමවුණත් මම කවදාවත් නොකරන විදිහේ වැරැදි කිහිපයකුත් කළා. නමුත් ඇත්තටම මං හිතන්නේ වින්සි ඉතා හොඳින් කී‍්‍රඩා කළා කියලයි”


”අද එයාට පරදින්න කොහෙත්ම  ඕන වුණේ නෑ. මමත් එහෙම හිතාගෙන තමයි තරගයට ආවේ. ඒත් අද එයාගේ දවස... එහෙම නැතිව මට තරගයට පෙර කිසිම පීඩනයක් තිබුණේ නෑ. අමෙරිකානු ටෙනිස් ශූරතාවලියේ මට කවදාවත් එවැනි පීඩනයක් දැනිලත් නෑ” සෙරීනා කීවාය.


වින්සි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලියක අවසන් පූර්ව තරගයට එක්වූයේ පළමුවරටය. මේ කෝඩුකාරිය වාර්තාපොතට ගියේ එවැනි දස්කමක් පෑ වයස්ගතම කී‍්‍රඩිකාව ලෙසය. දැන් ඇය අවසන් මහා තරගයටත් සුදුසුකම් ලබා සිටින්නීය.


”මම හිතන්නේ සෙරීනා තරමක් බයවුණා” තරගයෙන්  පසුව වින්සි සිනාසෙමින් එසේ කීවාය.
”ඉතින් මට පුලූවන් වුණා ලැබෙන හැම අවස්ථාවේදීම ලකුණක් කරා යන්න”


මීට පෙර ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 21 ක් දිනා සිටින සෙරීනා සිය උපන්බිමේ කී‍්‍රඩාලෝලීන් ඉදිරියේදී ඉතිහාසය හඹා ගිය අතර ඔවුන් සාක්ෂි කරුවන් බවට පත් කරමින්ම පරාජයේ වේදනාව අඩුවැඩි නැතිව භුක්ති වින්ඳාය.


පසුගිය ජනාවරියේ  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර පැවැති  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ආරම්භ වූ සෙරීනාගේ ජයග‍්‍රාහී ගමන සිය මවුබිමේ නිව්යෝර්ක් නුවරදී නිමාවට පත්වූයේ එලෙසිනි.  පිටියෙන් නික්ම නිවෙසට යනවිටත් ඇගේ වැළපීම නතරවී තිබුණේ නැත.

 

- 077


අදහස් (0)

සෙරීනාගේ සිහිනය වින්සි බිඳ දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.