මීටර 4×400 (පිරිමි) ඉසව්වෙන් ශ්‍රී ලංකාව මේ දක්වා ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී හිමිකර තිබූ කීර්තිනාමය ඉදිරියේදී අහිමිවන තත්ත්වයක් උද්ගතව තිබේ. ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය වෙනුවෙන් සුගතදාස පිටියේදී පැවැති අවසන් තේරීම් තරගාවලියට අනුව මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහාය දිවීමේ කණ්ඩායමක් යැවීම ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.
කෙසේ වුවත් ශ්‍රී ලංකාව 1991 තරගාවලියේ සිට එක දිගට මීටර 4×400 (පිරිමි) සහාය දිවීමේ කණ්ඩායමක් ආසියානු ශූරතාවලිය සඳහා සහභාගී කිරීමට සමත්ව තිබේ. 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අප්‍රේල් මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා දෝහා කටාර්හිදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමේ අරමුණ ඇතිව පැවැති ජාතික මලල ක්‍රීඩා අවසන් තේරීම් තරගාවලිය නිමාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 9 දෙනකු ආසියානු ශූරතා තරග පරිසාධන මට්ටමට පැමිණ තිබේ. ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් පමණ සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමත් 2019 ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට තෝරා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අපේක්ෂා කරයි.
එම තෝරා ගැනීම් මෙම මස 31 වැනිදාට පෙර ආසියානු ශූරතා තරග සංවිධායකයන් වෙත ලබාදීමට නියමිතය.
ඉන්දියාවේ බහුබුනේෂ්වර්හිදී පැවැති 22 වැනි ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේදී ද ශ්‍රී ලංකාව මීටර 4×400 (පිරිමි) ඉසව්වෙන් රිදී පදක්කමක් විනාඩි 3 තත්පර 04.80 දිනා ගැනීමට සමත්ව තිබේ. 1975 සෝල් නුවරදී පැවැති දෙවැනි තරගාවලියේ සිට ශ්‍රී ලංකාව එම සහාය දිවීමේ ඉසව්වට කීර්තියක් උසුලන අතර එහිදී ශ්‍රී ලංකාව එම සහාය දිවීමේ ඉසව්වේ පළමු විනාඩි 3 තත්පර 13.4කට ලෝකඩ පදක්කමක් දිනා තිබේ.
සුගතදාස පිටියේ පැවැති තේරීම් තරගාවලියේදී කඩඉම් පරීක්ෂණය සමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනකුට අමතරව පැවැති පළමු තේරීම් තරගාවලියේදී දක්ෂතා දැක්වූවන් තිදෙනකු ද මේ වනවිට එළැඹෙන ආසියානු තරගාවලියට නිර්දේශ වීමේ සුදුසුකම් සනාථ කර තිබේ. එහිදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටු වූ කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන් (තත්පර 10.22) හැරෙන්නට තුන් පිම්ම ශූර ග්‍රේෂන් ධනංජය (මීටර 16.17 - නව ශ්‍රී ලංකා වාර්තාවක්) හා විනෝද් සුරංජය ද සිල්වා (මීටර 100 - තත්පර 10.27) ඔවුහු වෙති.
අවසන් තේරීම් තරගාවලියේදී පළ කළ දක්ෂතා අනුව නිලානි රත්නායක (මීටර 3000), සුමේධ රණසිංහ (හෙල්ල විසි කිරීම -- මීටර 79.65), නිමාලි ලියනආරච්චි (මීටර 800 - විනාඩි 2 තත්පර 02.65), ගයන්තිකා අබේරත්න (මීටර 800 - විනාඩි 2 තත්පර 03.65), ධනුෂ්ක ප්‍රියරත්න (දුර පැනීම - මීටර් 7.95), ජානක විමලසේන (දුර පැනීම - මීටර 7.83) මෙවර ආසියානු තරගාවලියට අවශ්‍ය පරිසාධන මට්ටමට ළඟාවූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවෝ වෙති.
පළමු තේරීම් තරගාවලියේදී ශ්‍රී ලංකා නව වාර්තාවක් පිහිටු වූ මීටර 100 ශූර හිමාෂ ඒෂාන්ගේ කාලය තත්පර 10.24 කට සීමාවිය. එහි අවසන් තරගයේ දිව ගිය ක්‍රීඩකයන් නවදෙනාම තත්පර 10.76 ක් නොඉක්මවමින් තරගය අවසන් කිරීම කැපී පෙනේ. මීටර 100 කාන්තා ඉසව්ව ජයගත් ක්‍රීඩිකා ෂෙලින්ඩා ජෑන්ස්ගේ තරග නිමි කාලය තත්පර 11.95 කට සීමා විය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උපසභාපතිවරයකු වන ප්රවීණතම මලල ක්‍රීඩා තාක්ෂණ නිලධාරියකු වන ලාල් චන්ද්‍රකුමාර මහතා ආසියානු තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ධුරයට යෝජනා වී තිබේ.
මීටර 800 (පිරිමි), මීටර 1500 (පිරිමි) ඇතුළු උපරිම දක්ෂතා වාර්තා වූ තවත් ඉසව් කීපයකින් ද ආසියානු සංචාරය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනකු නිර්දේශ වනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.