Last Update  :  2026-03-27 19:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සමුගන්න ගිය මරේ ආපසු හැරෙයි

සමුගන්න ගිය මරේ ආපසු හැරෙයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අද ආරම්භ වූ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ පළමු වටයේදීම ස්පාඤ්ඤයේ රොබේටෝ බවුටිස්ටා අගට් හමුවේ ලකුණු 6-4ක්, 6-4ක්, 6-7ක්, 6-7ක් සහ 6-2ක් ලෙස පරාජයට පත්වීම නිසා බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ තරගාවලියෙන් ඉවතට විසිවිය. මේ වසරේ ගිම්හානයේදී ටෙනිස් පිටියෙන් සමුගන්නා බව මීට දින දෙකකට පෙර කඳුළු සලමින්  ප්‍රකාශ කළ ඇන්ඩි මරේ පරාජයෙන් පසුව අදහස් දැක්වූයේ ලබන ජනවාරියේ නැවතත් ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියට එක්වන බව ඉගි කරමිනි.

පසුගිය කාලය පුරාම පැවති උකුළේ ආබාධයක් සමග ක්‍රීඩා කළ මේ විශිෂ්ඨ ක්‍රීඩකයා ටෙනිස් පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කිරිමත් සමග මෙල්බර්න් නුවර  සිසාරා පැතිරී ගිය උණුසුමත් ඒ සමගම පහවී ගියේය.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ පළමු දිනය කැළඹීමට මේ පරාජය සමත්වූවත් තරගයෙන් පසුව ඔහු කළ ප්‍රකාශය ඊටත් වඩා කැළඹීමක් ඇති කළේය.

“ප්‍රශ්නයක් නෑ. මේක පුදුම පරාජයක්”

“අද මගේ තරගය නරඹන්න පැමිණි හැමෝටම ස්තූතියි. මේ පිටියේ තව අවුරුදු කිහිපයක්ම ක්‍රීඩා කරන්න මං කැමැතියි. මේක ටෙනිස් ගහන්නම කියාපු පිටියක්..”

“බාගෙවිට මම ආපහු ලබන වතාවෙත් මෙහි ඒවි. ඒ සඳහා හැකි සෑම උත්සාහයක්ම ගන්නවා. නමුත් ඊට පෙර මට ලොකු සැත්කමකට මුහුණ දෙන්න සිදුවේවි. ඒ නිසා හරියටම කියන්න බෑ ආපහු මේ පිටියට එන්න පුළුවන් වේවිද කියලා. නමුත් මම උපරිම උත්සාහ ගන්නවා ආපහු එන්න” යයි ඇන්ඩි මරේ පරාජයෙන් පසුව කීවේය.

අද දිනය බි්‍රතාන්‍යයට කොහෙත්ම සුබ දවසක් නොවූයේ මරේගේ පරාජය නිසාම නොවේ. පසුගිය වසරේ දී මේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සේන්දුවූ මරේගේ සගයා වන බ්‍රිතාන්‍යයේ නොම්මර එකේ ක්‍රීඩක කයිල් එඞ්මන්ටද සිදුවූයේද ඒ ටිකමය.

ඔහු තරගාවලියෙන් ඉවතට විසිවූයේ චෙක් රාජ්‍යයේ තෝමස් බර්ච් හමුවේ ලකුණු 6-3 ක්, 6-0 ක් සහ 7-5ක් ලෙස පරාජයට පත්වීමෙනි.

මේ අතර ලෝක ටෙනිස් ශේණිගත කිරීම්වල දෙවැනි තැන පසුවන ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල්, ස්විට්සර්ලන්තයේ සුපිරි ක්‍රීඩකයා මෙන්ම ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියේ වත්මන් ශූරයා ද වන රොජර් ෆෙඩරර් මෙන්ම පස්වැනි තැන සිටින දකුණු අප්‍රිකාවේ කෙවින් ඇන්ඩර්සන් දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට සමත්වූහ.

අද ආරම්භ වූ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ පළමු තරගයෙන් බ්‍රිතාන්‍යයේ හැරියට් ඩාට් ලකුණු 6-0 ක් සහ 6-0 ක් ලෙස පරාජයට පත් කළ රුසියාවේ මාරියා ෂරපෝවා, ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ වත්මන් ශූරිය ඩෙන්මාර්කයේ කැරොලින් වොස්නියැකි, ජර්මනියේ ඇන්ජලික් කේබර්, අමෙරිකාවේ ස්ලෝනි ස්ටීවන්ස් අද දවසේ ජයග්‍රහණ අත්කරගනිමින් දෙවැනි වටයට සේන්දුවීමට සමත්වූහ.

 

(සැකසුම : මොහාන් ප්‍රනාන්දු)


අදහස් (0)

සමුගන්න ගිය මරේ ආපසු හැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.