Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩිකාවෝ පතුලටම වැටෙති
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩිකාවෝ පතුලටම වැටෙති

editorial - 2022 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා සත් සාමාජික රග්බි ඉසව්වේ ඊයේ (31 වැනිදා) රාත්‍රියේ පැවැති තරගයකදී දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 52-00 ක දැවැන්ත පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට එම ඉසව්වේ අවසන් ස්ථානයට පත්වීමට සිදුවූහ.

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 33-00 ක් ලෙස පෙරමුණ ගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ, දෙවැනි අර්ධයේදී සිය කණ්ඩායමට තවත් ලකුණු 19 ක් එක්කර ගත්හ. තරගය පුරා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු ලබාගැනීමට ඉඩක් ලබා නොදීමටද දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ වග බලාගත්හ.

එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු රැස්කළේ ගෝල දිනුම් 6 ක් සහ උත්සාහක දිනුම් 2 ක් සමගිනි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ෆැලීසියා ‍ජෙකොබ්ස් සහ ලිස්කේ ලැටගන් උත්සාහක දිනුම් 3 බැගින්ද, සැන්ඩිල් මසුකු උත්සාහක දිනුම් 2 ක්ද ලබාගත්හ. ‍ඩොනෙල් ස්නයිඩර්ස් ප්‍රවර්ථන 4 ක්ද, නොන්ටුතුකෝ ෂොන්‍ග්වේ ප්‍රවර්ථන 2 ක්ද සාර්ථක කරගත්හ.

‘ඒ’ කාණ්ඩය යට‍තේ කාන්තා සත් සාමාජික රග්බි ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටයේදී එංගලන්තය හමුවේ ලකුණු 57-00 ක් ලෙසද, නවසීලන්තය හමුවේ ලකුණු 60-00 ක් ලෙසද, කැනඩාව හමුවේ ලකුණු 74-00 ක් ලෙසද පරාජයට පත්විය.

ඒ අනුව තරගාවලියේ 5 වැනි ස්ථානයත් 8 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවූහ. එහිදී ස්කොට්ලන්තය හමුවේද ලකුණු 58-00 ක පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාවට 7 වැනි ස්ථානයත් 8 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුවිය.

තරගාවලිය පුරා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රීඩා කළ සෑම තරගයකදීම ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම් ලකුණු 50 කට වඩා වැඩියෙන් රැස්කළ අතර එහිදී එක් ලකුණක් හෝ රැස්කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අසමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

අවසන් මහ තරගයේදී ෆීජි කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 22-12 ක ජයක් වාර්තා කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත්හ. එහි ලෝකඩ පදක්කම හිමිවූයේ කැනඩා කාන්තා කණ්ඩායම ලකුණු 19-12 කින් පරාජය කළ නවසීලන්ත ක්‍රීඩිකාවන්ටය.


අදහස් (0)

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩිකාවෝ පතුලටම වැටෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.