Last Update  :  2026-02-26 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2-1 කින් කොදෙව් කාන්තා පිල පරදවති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2-1 කින් කොදෙව් කාන්තා පිල පරදවති

editorial - 2026 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර ග්‍රෙනඩාවේ ශාන්ත ජෝජ්ස් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (25 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට කොදෙව් ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

මෙම තරගය පරාජයට පත්වුවද මුල් තරග 2 ජයගෙන තිබීම හේතුවෙන් දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි විය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් බටහිර ඉන්දීය කොදෙව්හිදී එක්දින තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක් විය. තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ හර්ෂිතා සමරවික්‍රම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 218 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රීඩිකාවෝ ඕවර 46 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. අගනා පිතිහරඹයක නිරත වෙමින් සිය 10 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය ලබාගත් ආරම්භක පිතිකාරිණී හේලි මැතිව්ස් (100) සිය කණ්ඩායම ජයග්‍රාහී මාවත විවර කර දුන්නාය. පන්දු 119 කට මුහුණදුන් ඇය හයේ පහරකින් සහ හතරේ පහර 13 කින් සිය ඉනිම සැරසුවාය. 

ලකුණු 12 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී ස්ටෙෆ්නි ටේලර් (38) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 154 කදී ලකුණු 124 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මැතිව්ස් සමත් වූවාය. මැතිව්ස්ගේ දැවී යෑමෙන් අනතුරුව චිනෙලි හෙන්රි (නොදැවී 32) සහ ඩීන්ඩ්‍රා ඩොටින් (නොදැවී 24) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 49 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 217 ක් රැස්කළ අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ හර්ෂිතා සමරවික්‍ර පන්දු 112 කින් ලකුණු 70 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි. කවීෂා දිල්හාරි පන්දු 58 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 45 ක් රැස්කරමින් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියාය. 

නායිකා චමරි අතපත්තු ලකුණු නොලබා දැවී යෑමෙන් අනතුරුව හසිනි පෙරේරා (27) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 43 ක් එක්කළ හර්ෂිතා, ඉන් නොනැවතී විෂ්මි ගුණරත්න (26) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 117 කදී ලකුණු 78 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවාය. පන්දු 34 කදී වාර්තා වූ හසිනිගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය. 

 

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 217   
(හසිනි පෙරේරා 27, හර්ෂිතා සමරවික්‍රම 70, විෂ්මි ගුණරත්න 26, කවීෂා දිල්හාරි නොදැවී 45, නිලක්ෂි සිල්වා 14, හේලි මැතිව්ස් 33/2, කරිෂ්මා රම්හැරක් 39/2) 

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල - ඕවර 46 කදී කඩුලු 4 ක් දැවී 218 
(හේලි මැතිව්ස් 100, ස්ටෙෆ්නි ටේලර් 38, චිනෙලි හෙන්රි නොදැවී 32, ඩීන්ඩ්‍රා ඩොටින් නොදැවී 24, මල්කි මදාරා 33/2) 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2-1 කින් කොදෙව් කාන්තා පිල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.