
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව ග්‍රෙනඩාවේ ශාන්ත ජෝජ්ස් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (22 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 14 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම ජයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි විය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් බටහිර ඉන්දීය කොදෙව්හිදී එක්දින තරගයක් ජයගත් දෙවැනි අවස්ථාව මෙන්ම එක්දින තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක් විය. තරගාවලියේ අවසන් එක්දින තරගය හෙට (25 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.
ජයග්‍රහණය සඳහා ලකුණු 209 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 48 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 194 ක් පමණි. එහිදී සුගන්දිකා කුමාරි ලකුණු 38 කට කඩුලු 3 ක්ද, ඉනෝකා රණවිර ලකුණු 44 කට කඩුලු 3 ක්ද දවාගනිමින් දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ අතර ඔවුන්ට අනගි සහායක් දුන් දෙව්මි විහන්ගා ලකුණු 33 කට කඩුලු 2 ක් බිඳහෙළුවාය.
පළමු තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් ජැනීලියා ග්ලස්ගොව්, මෙම තරගයේදීත් ඊට නොදෙවෙනි පිතිහරඹයක නිරත වෙමින් පන්දු 69 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 50 ක් රැස්කළාය. කෙසේ වුවත් චමරි අතපත්තුගේ පන්දුවක් හමුවේ කවීෂා දිල්හාරි අතට උඩ පන්දුවක් දෙමින් දැවීයෑම හේතුවෙන් ඇයට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූවාය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 47.1 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 208 ක් රැස්කළ අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ විෂ්මි ගුණරත්න පන්දු 66 කින් ලකුණු 58 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. ආරම්භක පිතිකාරිණියක වන විෂ්මි, මෙම තරගයේදී අර්ධ ශතකයක් රැස්කළේ මැද පෙළ පිතිකාරිණියක ලෙස වීමද කැපී පෙනුණු සිදුවීමක් විය.
හර්ෂිතා සමරවික්‍රම (35) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 40 ක් රැස්කළ විෂ්මි, ඉන් නොනැවතී නිලක්ෂි සිල්වා (29) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවාය. පන්දු 22 කදී වාර්තා වූ නිලක්ෂිගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත වූ අතර නායිකා චමරි අතපත්තු පන්දු 41 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 32 ක් රැස්කළාය.
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 208
(හසිනි පෙරේරා 14, චමරි අතපත්තු 32, හර්ෂිතා සමරවික්‍රම 35, විෂ්මි ගුණරත්න 58, නිලක්ෂි සිල්වා 29, කරිෂ්මා රම්හැරක් 26/3, ඇෆී ෆ්ලෙචර් 40/2, හේලි මැතිව්ස් 44/2)
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල - ඕවර 48 කදී සියලු දෙනා දැවී 194
(හේලි මැතිව්ස් 13, කුයිනා ජෝෂප් 16, ශෙමේන් ටේලර් 30, ස්ටෙෆ්නි ටේලර් 27, ඩීන්ඩ්‍රා ඩොටින් 13, ජැනීලියා ග්ලස්ගොව් 50, ඇෆී ෆලෙචර් 20, සුගන්දිකා කුමාරි 38/3, ඉනෝකා රණවීර 44/3, දෙව්මි විහන්ගා 33/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.