Last Update  :  2026-01-11 22:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි
තුන්වැනි විස්සයි-20 තරගය

ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි

editorial - 2026 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ප්‍රහාරාත්මක පිතිහරඹයේ අලුත්ම මාදිලියක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ, රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති තුන්වැනි විස්සයි-20 අන්තර්ජාතික තරගයේදී ලකුණු 14 ක තියුණු ජයක් අත්කර ගත්හ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 12 කින් ලකුණු 160 ක් ලබාගත්තේය. පිළිතුරු ලෙසින් ඕවර 12 කදී පාකිස්තානු පිල කඩුලු 8 ක් ලකුණු 146 කට සීමාකළ ශ්‍රී ලාංකිකයෝ 1-1 ක් ලෙසින් තරගාවලිය සමකළහ.

වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් ඕවර 12 කට සීමා කරන ලද තරගය ආරම්භ වන විිට රාත්‍රී 9.20 පමණ විය. 

කමිල් මිෂාර (20), කුසල් මෙන්ඩිස් (30), චරිත් අසලංක (21), දසුන් ශානක (34) සහ ජනිත් ලියනගේ (22) එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ප්‍රබල ලකුණු සංඛ්‍යාව කරා කැඳවාගෙන ගියහ. ලකුණු 127 ක් ලබාගැනීම සඳහා මෙම පිතිකරුවන් පස් දෙනා මුහුණ දුන්නේ පන්දු 54 කට පමණි. 

අවසන් ඕවරය යැවූ මොහොමඩ් වසිම්ට පිට පිටම හයේ පහර තුනකින් සංග්‍රහ කළ දසුන් ශානක පන්දු 9 කින් ලකුණු 34 ක් ලබාගත් අතර ඔහුගේ ඉනිම හයේ පහර 5 කින් සමන්විත විය. දසුන් සමගින් කරට කර පිතිහරඹයක නිරත වූ ජනිත් ලියනගේ පන්දු 8 කින් ලකුණු 22 ක් ලබාගත්තේ දඹුල්ල ක්‍රීඩාංගණයට රැස්ව මහත් ඉවසීමෙන් සිටි නරඹන්නන්ගේ මතකයේ රැඳෙන ‘අපර් කට්’ පහරකින් ගැසූ හයේ පහරක් ද සමගිනි. 

ලකුණු 161 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානු පිතිකරුවෝ ඕවර 4 කින් ලකුණු 62 ක් ලබාගත්හ. එහෙත් පස්වැනි ඕවරය ලකුණු 7 කට සීමාකළ වනිඳු හසරංග, එම ඕවරයේදීම කඩුලු දෙකක් දවාගැනීම නිසා පාකිස්තානුවන්ගේ ගමන වෙනස් විය. අනතුරුව පන්දුව අතට ගත් ධනංජය ද සිල්වාගේ ඕවරයත් ලකුණු 6 කට සීමා වූ නමුත් සටන අත් නොහළ පාකිස්තානුවෝ 8 වැනි ඕවරයේදීම 100 වැනි ලකුණත් පුවරුවට එකතු කළහ. 

හසරංගගේ තුන්වැනි ඕවරයට ලකුණු 15 ක් වැදුණු නමුත් මහත් තර්ජනාත්මක පිතිකරුවකු වන 23 හැවිරිදි කවාජා නෆායි සහ ශදාබ් ඛාන් දෙදෙනාම එම ඕවරයේදී දැවී ගියහ. එෂාන් මාලිංග යැවූ අවසන් ඕවරයෙන් ලකුණු 20 ක් පාකිස්තානු ජයග්‍රහණයට අවශ්‍ය වී තිබිණ. එම ඕවරයේදී වයිඩ් පන්දු 4 ක් ම යැවුණු නමුත් එය ලකුණු 16 කට සීමා විය. 


ශ්‍රී ලංකාව - ඕවර 12 කදී කඩුලු 6 ට 160 යි
(කමිල් මිෂාර 20, කුසල් මෙන්ඩිස් 30, ධනංජය ද සිල්වා 22, චරිත් අසලංක 21, දසුන් ශානක 34,  ජනිත් ලියනගේ  නොදැවී 22, මොහොමඩ් වසිම් 54/3)

පාකිස්තානය - ඕවර 12 කදී කඩුලු 8 ක් දැවී 146 යි
(සල්මන් අඝා 45, මොහොමඩ් නවාස් 28, කවාජා නෆායි 26, මතීෂ පතිරණ 34/2, වනිඳු හසරංග 35/4)

 

- 213


අදහස් (0)

ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.