සැමගේ අපේක්‍ෂාව වූ පරිදිම ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරග බිමේ වත්මන් ශූරිය වන ඩෙන්මාර්කයේ කැරොලින් වොස්නියැකි ලකූණු 6-1 ක් සහ 6-3 ක් ලෙස ස්වීඩනයේ ජොහානා ලාසන් පරාජය කරමින් පහසුවෙන්ම තුන්වැනි වටයට පැන ගත්තාය. එහෙත් තුන්වැනි වටයේදී ඇයට ලැබෙන්නේ පහසු අභියෝගයක් නොවේ. මක්නිසාද යත් ඇයට මුණගැසෙන්නේ මාරියා ෂරපෝවා බැවිනි.
|
|
|
|
|
|
මෙල්බර්න් නුවර අද පැවැති තරගයේදී ස්වීඩනයේ රෙබෙකා පීටර්සන් ලකුණු 6-2 ක් සහ 6-1 ක් ලෙස පහසුවෙන් පරාජය කළ ෂරපෝවා තුන්වැනි වටයට සුදුසුකම් ලබාගත්තාය.
තවමත් 30 හැවිරිදි ෂරපෝවා තහනම් උත්තේජන ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා මාස 15 ක තහනමකට ලක්ව සිටියද ඇයගේ පැරණි දස්කම් තවමන් විද්‍යමාන කළාය. ශ්‍රේණිගත ක්‍රීඩිකාවන් අතර 64 වැනි ස්ථානය හිමිකරගෙන සිටින පීටර්සන් පරාජය කිරීමට ෂරපෝවාට අවශ්‍ය වූයේ විනාඩි 71 ක් පමණි.
සිය 21 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් කිරුළ හඹා යන ස්විට්සර්ලන්තයේ සුපිරි ක්‍රීඩක රොජර් ෆෙඩරර්ගේ ඉවසීම මැනවින් පරික්ෂා කළ බි්‍රතාන්‍යයේ ඩැන් ඉවාන්ස් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අද තුන්වැනි දිනයේදී ලකුණු 7-6 ක්, 7-6 ක්, සහ 6-3 ක් ලෙස පරාජයට පත්වූවත් තුන්වැනි වටයට සේන්දුවීමට ෆෙඩරර්ට සෑහෙන මහන්සියක් ගැනීමට සිදුවිය.
ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 189 වැනි තැන සිටින ඉවාන්ස් ලෝකයේ තුන්වැනි ක්‍රීඩකයා වන ෆෙඩරර් දෙගිඩියාවට පත් කරමින් ඉතා වේගවත් පහර ගණනාවකින්ම ඔහු අන්දමන්ද කර දැමුවේය.
“මට හුස්මක් කටක් ගන්න ඔහු ඉඩ දුන්නේම නෑ. ඔහු ඉතා හොඳින් තරග කළා. තරගයෙන් මම ජය ලැබුවත් ඔහුට ගෞරවය හිමිවිය යුතුමයි” යයි වැඩිම වාර ගණනාවක් ඕස්ට්‍රේලියානු ටෙනිස් කිරුළට හිමිකම් කියන මේ ස්විට්සර්ලන්ත ක්‍රීඩකයා තරගයෙන් පසුව කීවේය.
මේ අතර අද පැවැති තරගවලදී වඩාත්ම අවධානයට ලක්වූයේ ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි තැන සිටි දකුණු අප්‍රිකාවේ කෙවින් ඇන්ඩර්සන් ආපසු හිස් අතින් ගෙදර යැවීමට අමෙරිකාවේ ෆ්‍රැන්සස් ටියාෆොයි සමත්වීමය. මාගරට් කෝට් ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගයෙන් ඇන්ඩර්සන් පරාජයට පත්වූයේ ලකුණු 4-6 ක්, 6-4 ක්, 6-4 ක් සහ 7-5 ක් ලෙසිනි. අමෙරිකාවේහිම ස්ලෝනි ස්ටීවන්ස් අද තුන්වැනි වටයට සුදුසුකම් ලැබූවේ හංගේරියාවේ ටමියා බාබෝස්ට එරෙහිව ලකුණු 6-3 ක් සහ 6-1 ක් ලෙස පහසු ජයක් ලබාගනිමිනි.
කාන්තා ශ්‍රේණිගත කිරීම්වල 2 වැනි තැන සිටින ජර්මනියේ ඇන්ජලික් කේබර් ලකුණු 6-2 ක් සහ 6-3 ක් ලෙස බ්‍රසීලයේ බියට්‍රිස් හැඩඞ් පරාජය කළ අතර පිරිමි ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන සිටින ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් තුන්වැනි වටයට ගියේ ලකුණු 6-3 ක්, 6-2 ක් සහ 6-2 ක් ලෙස ඕස්ට්‍රේලියාවේ මැතිව් එබ්ඩන් පරාජය කරමිනි.
සැකසුම : මොහාන් ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.