Last Update  :  2026-04-10 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විරෝධතා ගොනුකරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දින 14 ක්
නුවන් තුෂාර අධිකරණයට යාම

විරෝධතා ගොනුකරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දින 14 ක්

editorial - 2026 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරඟාවලියේදී තම කණ්ඩායම වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ‘අවසර සහතිකය’ නිකුත් නොකිරිම සම්බන්ධයෙන් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විසින් ගොනු කරන ලද පැමිණිල්ලට එරෙහිව විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කොළඹ දිස්ත්‍රික් අධිකරණය විසින් දින 14 ක කාලයක් ලබා දී තිබේ. 

ශාරීරක යෝග්‍යතාව සම්බන්ධයෙන් නිර්දේශ කරන ලද පරිසාධන මට්ටමට පැමිණීම නොහැකිවීම හේතුවෙන් අයි.පී,එල්. තරගාවලිය සඳහා සහභාගිවීමට නුවන් තුෂාරට අනුමැතිය දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. 

“නුවන් තුෂාරට විතරක් නෙමෙයි, වනිඳු හසරංග (ලක්නව් සුපර් ජයන්ට්ස්) සහ මතීෂ පතිරණ (කොල්කටා නයිට් රයිඩර්ස්) දෙන්නාටත් අපි අයි.පී.එල්. යන්න දුන්නේ නෑ. එකම හේතුව එයාලා නියමිත ශාරීරික යෝග්‍යතා මට්ටමට නොහිටිය එක”

“අනෙක් කාරණාව තමයි, මේ යෝග්‍යතා පරීක්‍ෂණයේදී අපි පරිසාධන මට්ටම හැටියට සලකන්නේ ලකුණු 21 ක්. ඒත් එයාට (නුවන් තුෂාරට) තිබුණ ලකුණු සංඛ්‍යාව හොඳටම මදි. ඒ විතරක් නෙමේ, නියමිත ශාරීරික යෝග්‍යතා මටටමට නොහිටියොත් ඉදිරියේදී තේරීම් සඳහා සලකා බලන්න බැරි වේවි කියලත් අපි එයාට දිගින් දිගටම අවවාද කළා”

“ඒත් කිසිම උනන්දුවක් පෙන්නුවේ නෑ..... ඒ හින්දා තමයි අපි එයාව 2026 විස්සයි-20 ලෝක කුසලාන සංචිතයටත් ඇතුළත් නොකළේ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය. 

නුවන් තුෂාර සම්බන්ධයෙන් තත්ත්වය එසේ වුවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම අයි.පී.එල්. තරඟාවලියට ක්‍රීඩා කිරීමට අවසර ලබා දී තිබේ. 

පැතුම් නිස්සංක (දිල්ලි කැපිටල්ස්), දුෂ්මන්ත චමීර (දිල්ලි කැපිටල්ස්), කමිඳු මෙන්ඩිස් (සන්රයිසස් හයිද්‍රාබාද්) සහ දසුන් ශානක (රාස්තාන් රෝයල්ස්) යන සිව්දෙනාටත් පාකිස්තානු සුපර් ලීගයට සහභාගි වන කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා ඇතුළු තවත් ක්‍රීඩකයන් කිහිප දෙනකුටත් ‘අවසර සහතිකය’ නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. මෙම අවසර සහතිකය ලබාගත් සියලු දෙනාම නියමිත ශාරීරික යෝග්‍යතා මට්ටමට පැමිණි ක්‍රීඩකයෝ වෙති. 

නුවන් තුෂාර විසින් ගොනුකරන ලද නඩුව ඊයේ (9 වැනිදා) කැඳවූ විට, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතා සමඟ පෙනී සිටි නීතිඥ කාංචන පීරිස් මහතා, මෙම නඩුවේදී ඉල්ලා ඇති අතුරු සහනය සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට දිනයක් ලබා දෙන ලෙෂත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබේ. 

විත්තිකරුවන් ලෙසින් නම්කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා, නඩුව සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට දිනයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව, කොළඹ දිසා අධිකරණය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විරෝධතා ගොනු කිරීම සඳහා අප්‍රේල් 23 වන දින නඩුව නැවත කැඳවීමට නියෝග කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙසින් නම්කර තිබේ. 


අදහස් (0)

විරෝධතා ගොනුකරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දින 14 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.