
(දමින්ද විජේසූරිය)
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලිය සඳහා නම්කරන ලද 17 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමට ධනංජය ද සිල්වා ඇතුළත් කර තිබේ. පාකිස්තානයේදී පැවැති එක්දින තරගාවලියෙන් පසුව වමත් පිතිකරු චරිත් අසලංක යළිත් වරක් නායකත්වයේ වගකීම කරට ගැනීමට සූදානම් වෙමින් සිටී.
සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාව යනු ‘දඩි බිඩි’ පිතිහරඹය යයි සිතාගෙන සිටි පිතිකරුවෝ අසාර්ථක වූහ. ඔවුන් කෙරේ විශ්වාසය තබා සිටි තේරීම් කමිටු නිලධාරීහු මදියි නොකියන්නට දෙස් දෙවොල් ඇසූහ. අවසානයේදී එක්දින වුවත්, විස්සයි-20 වූවත් ක්‍රිකට් යනු ‘ක්‍රිකට්’ ම මිස අනෙකක් නොවේ යයි තේරුම්ගත් තේරීම් කමිටු නිලධාරීහු, වසර දෙකකට පසුව ටෙස්ට් නායක ධනංජය ද සිල්වා නැවත වතාවක් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට මෙන්ම ශ්‍රී ලංකා එක්දින සංචිතයටත් කැඳවූහ.
විශේෂත්වය නම් ධනංජය ද සිල්වා සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළ 2023 නොවැම්බරයේදීත්, ඔහුගේ මීළඟ එක්දින තරගයට ක්‍රීඩා කිරීමට සූදානම් වන 2026 ජනවාරියේදීත් තේරීම් කමිටු සභාපතිවරයා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාම වීමයි.
එක්දින තරග වලදී ධනංජයගේ ලකුණු රැස්කිරීමේ වේගය පන්දු 100 කට ලකුණු 78.59 ක් ලෙසින් සටහන් වුවත්, ඉදිරිපෙළ පිතිකරුවකු වශයෙන් එක්දින තරග වලදී ඔහුගේ දායකත්වය ප්‍රමාණවත් නොවේ. එක්දින තරග 90 කට සහභාගි වී ඇතත් ධනංජය ලබා ඇත්තේ අර්ධ ශතක 10 ක් පමණි. ධනංජයගේ කුලකයේ පිතිකරුවකුට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.
කෙසේ වෙතත් මේ වතාවේදී ධනංජය එක්දින කණ්ඩායමට කැඳවා ඇත්තේ ඉදිරියේ එන ලෝක කුසලාන තරගාවලියේදී ඔහුගෙන් කිසියම් ප්‍රයෝජනයක් ලබාගැනීමේ අටියෙනි. එබැවින් සීමිත ඕවර තරග වලදී ඉදිරිපෙළේ කණ්ඩයමක් වන එංගලන්තය හමුවට ධනංජයව යවා ලෝක කුසලාන තරගාවලියට පොරතුව ඔහුව පදම් කරගැනීම ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ අපේක්‍ෂාවයි.
පාකිස්තානු සංචාරයට ගිය ශ්‍රී ලංකා එක්දින සංචිතයේ සිටි ළහිරු උදාර සහ දුෂ්මන්ත චමීර මෙවර නම්කරන ලද ක්‍රීඩකයන් 17 දෙනාට ඇතුළත් නොවෙති. ලෝක කුසලාන තරගාවලියට ඇත්තේ තවත් සති දෙකක් පමණක් වන බැවින් දුෂ්මන්ත චමීර විවේක ගන්වා තිබේ. ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට දුෂ්මන්ත චමීර අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙකි.
එංගලන්තයට එරෙහිව තරග කිරීමට නියමිත ශ්‍රී ලංකා එක්දින සංචිතය
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, පවන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩසේ, වනිඳු හසරංග, මිලාන් රත්නායක, එෂාන් මාලිංග, ප්‍රමෝද් මධුශාන්, මහීෂ් තීක්‍ෂණ සහ අසිත ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.