
නාමල් පතිරගේ
ලබන ජනවාරි 22 වැනිදාට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා දැල්පන්දු (නෙට්බෝල්) නිලවරණය (2025 - 26) සදහා තරග වැදීමට සභාපති අපේක්ෂිකා වජිරා නෙත්තිකුමාර මහත්මියට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ අනුමැතිය හිමිව තිබේ.
නිලවරණ කමිටුව විසින් පිළිගන්නාලද නෙත්තිකුමාර මහත්මියගේ නාමයෝජනාව පසුව ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුව මගින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඇය ක්‍රීඩා ඇමැතිවරයාට බාර දුන් අභියාචනාව පිළිගැනීමෙන් පසුව ඇයට දැල්පන්දු නිලවරණයට ඉදිරිපත්වීමට තිබූ බාධා ඉවත්ව ගොස් තිබේ.
නෙත්තිකුමාර මහත්මියගේ නාමයෝජනාව ක්‍රිඩා පනතේ රෙගුලාසි වලට පටහැනි බවට ඉදිරිපත්ව තිබූ විරෝධතාවයක් පදනම් කර ගනිමින් මෙම තත්වය පැන නැගී තිබුණි. ඇය කළුතර දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ වත්මන් සභාපතිනියයි.
කෙසේවූවත් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාට පැමිණිලි කිරීමේ ප්‍රතිපලයක් ලෙස පසුගිය දෙසැම්බර් 18 වැනිදා වග උත්තර පාර්ශවයට හා පැමිණිලි පාර්ශවයට නැවැත වතාවක් අභියාචනා උපදේශක කමිටුව හමුවේ පෙනී සිටීමේ අවස්ථාවක්ද ලබාදී තිබුණි.
අභියාචනා උපදේශක කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා ගනු ලබන තීරණ ක්‍රීඩා පනතේ 30 වැනි වගන්තියට ප්‍රකාරව අවසාන හා තීරණාත්මක විය යුතු බවත් එය යම් අධිකරණයකදී ප්‍රශ්න කරනු නොලැබිය යුතු බවත් එහි 41 වැනි වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අභියාචනා උපදේශක කමිටුව මැයෙන් සාදන ලද නියෝග මාලාවේ දැක්වේ.
ඒ අනුව වසර 2024 මැයි 30 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාකාරීත්වය අත් හිටුවූ දැල්පන්දු සම්මේලනයේ විධායක සභාව නැවැත පණ ගැනිවීම ජනවාරි 22 වැනිදා පෙරවරු11ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී කැඳවෙන නිලවරණයයේ අපේක්ෂාවයි.
ජනවාරි 22 වැනිදා පත්වීමට නියමිත දැල්පන්දු සම්මේලනයේ නව විධායක සභාවට මෙම වසරේ පැවැරී තිබෙන ප්‍රධානතම කාර්යභාරය වන්නේ අගෝස්තු 7 සිට17 වැනිදා දක්වා හොංකොං රාජ්‍යයේදී පැවැත්වෙන මීළගට නියමිත 14 වැනි ආසියානු දැල්පන්දු කුසලාන තරගාවලියට එහි මේ වන විට අනුශූරියන්වී (2024) සිටින ශ්‍රී ලංකාව සූදානම් කිරීමයි.එහි ශූරතාව හා අනු ශූරතාව ලබන කණ්ඩායම් දෙක වසර 2027 - සිඩ්නි ලෝක කුසලාන දැල්පන්දු තරගවලියට නිර්දේශ ලබයි.දැල්පන්දු සම්මේලනයේ විධායක සභාවේ ධූර ගණන අටකි.
සිව් පුද්ගල නිලවරණ කමිටුවේ සභාපතිනිය ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඩබ්.අයිරාංගනී පෙරේරා මහත්මිය කටයුතු කරයි.මෙවර නිලවරණයේදී දිස්ත්‍රික් හා අනු සංගම් 26 කට ඡන්ද බලය හිමිව තිබේ.ආසියානු දැල්පන්දු සම්මේලනයේ වත්මන් සභාපතිනී හා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය මෙවර නිලවරණයට ඉදිරිපත් නොවූවාය.
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ (2025 -26) නිලවරණයට ඉදිරිපත්වූ (පිළිගත්) නාමයෝජනා
සභාපති ධූරයට : - වී.ජේ.එච්.නෙත්තිකුමාර ( කළුතර), ආර්.පී.නෙත්තිකුමාර ( මහනුවර) හා ඩී.පී.විතාරණ (රාජ්‍ය සේවා)
ප්‍රධාන ලේකම් ධූරයට : - කේ.ඒ.එච්.එස්. දමයන්ති ජයතිලක (ගම්පහ) හා කේ.ඒ.එස්.පී.කුරුප්පු (රත්නපුරය)
උප සභාපති ධූර (2) : - යමුනා ගුණසේකර (කළුතර), ජේ.එම්.පී.කුමාරිහාමී (මහනුවර) හා ජේ.කේ.ගෝමස් (බස්නාහිර)
භාණ්ඩාගාරික ධූරයට : - (නිතරගයෙන්) බී.ඩී.සුමිත්‍රා (රාජ්‍ය සේවා)
උප ලේකම් ධූරයට : - බී.එල්.නිෂාන්ති ලියනගේ (කුරුණෑගල), ෂමිලා සුභානි උඩවත්ත (ටොරින්ටන් ක්‍රී.ස) හා ජී.සී.පී.අල්විස් (රාජ්‍ය සේවා)
උප භාණ්ඩාගාරික ධූරයට : - (නිතරගයෙන්) - ඩී.ආර්.සී.එස්.තෙන්නකෝන් (ජනසතු සේවා)
තරග ලේකම් ධූරයට : - ඩබ්.ඩී.ඩී.කේ.විල්ආරච්චි (ටොරින්ටන් ක්‍රී ස.) හා ජේ.ඒ.එස්.මංගලිකා (මාවතගම ක්‍රී.ස.)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.