Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
සාර්ථක සම්බන්ධතාවකින් පසුව ඉනිම එක තැන කඩාවැටීම ශ්‍රි ලංකා විස්සයි-20 කණ්ඩායමේ ආවේණික ලක්‍ෂණයක් වී තිබේ. සම්බන්ධතා ගොඩනඟන පිතිකරුවන් එකා පසුපස එකා දැවීයාම දෙවැනි සුවිශේෂී ලක්‍ෂණය ද වෙයි.
එවන් කණ්ඩායමක් හමුවේ තමන්ගේ වෘත්තීය නිපුණත්වය මොනවට ප්‍රදර්ශනය කළ ඕස්ට්‍රේලියානුවෝ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (08 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයත් පහසුවෙන්ම දිනාගත්හ. ඕස්ට්‍රේලියානු පිල අද ලබාගත් කඩුලු තුනක ජයග්‍රහණයත් සමගින්, තරග 3 කින් සමන්විත තරගාවලියේ එකක් ඉතිරිව තිබියදීම, තරගාවලියත් ජයගත්හ.
පසුගිය නොවැම්බරයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට ලද තුන්වැනි විස්සයි-20 තරගාවලි පරාජය මෙයයි. මෙම කාලය අතරතුරදී විස්සයි-20 තරග 10 කට සහභාගි වී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඒවායින් ජයගෙන ඇත්තේ එකම තරගයක් පමණි.
ලකුණු 125 ක පහසු ඉලක්කයක් කරා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම, ලකුණු 99 කට කඩුලු 7 ක් අහිමි කරගත් නමුත් ජායි රිචඩ්සන් සහ මැතිව් වේඩ් දෙදෙනා ප්‍රවේසමෙන් තනි ලකුණු කරා යමින් තම කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.
තරගයේ වීරයා සම්මානය මැතිව් වේඩ්ට පිරිනැමුණ නමුත් එහි සැබෑ උරුමක්කාරයා විය යුත්තේ කේන් රිචඩ්සන්ය. 17 වැනි ඕවරයේදී භානුක රාජපක්‍ෂ දවාගනිමින්, ශ්‍රී ලංකා ඉනිමේ විනාශය ආරම්භ කළ කේන්, සිය අවසන් ඕවරයේදී පිතිකරුවන් තිදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට යැවූයේ මුලු ලකුණු සංඛ්‍යාව 121 නවතා තබා ගනිමිනි.
පළමු තරගයේදී තිබූ තත්තවයට ඉතාම ආසන්න වෙමින්, අදත්, 12 වැනි ඕවරයේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 2 කට 73 ක් ලෙසිනි. එහෙත් නියමිත ඕවර 20 නිමා වන විට ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 124 ක් පමණි. අවසන් කඩුලු 8 ම ලකුණු 51 ක් තුළ ඇද වැටිණ.
ඊයේ ජොෂ් හේසල්වුඩ් සහ මිචෙල් ස්ටාක් දෙදෙනා ශ්‍රී ලංකා ඉනිම විනාශ කළ පරිද්දෙන්ම, අද රිචඩ්සන්ලා දෙදෙනා වන කේන් සහ ජායි එක්ව ශ්‍රී ලංකාව විනාශ කළහ. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 4 ම පන්දු 5 ක් ඇතුළතදී දවාගත් කේන් සහ ජායි රිචඩ්සන් දෙදෙනා, ඕවර 8 කදී කඩුලු 7 ක් බෙදා ගත්හ.
ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 07 ක් තුළදී දැවී ගිය නමුත්, චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් එක්ව, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අතුරු සිදුරු නැතිව පිරී සිටි ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයන්ට ඔල්වරසන් දීමට අවසර ලැබුණේ පළමු ඕවර 12 දී පමණි. එතැන් සිට ප්‍රේක්‍ෂකාගාරයන් හි දක්නට ලැබුණේ තුෂ්ණිම්භූත වූ විසල් දෑස් පමණි.
ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 5 ක් ලකුණු 80 කට බිඳ වැටුණ කල්හි ප්‍රේක්‍ෂකාගාරය නැවත ප්‍රාණවත් වූ නමුත් එහි ප්‍රාණය පැවැතියේ ඕවර 4 ක් පමණි.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් විස්සයි-20 තරගය සෙනසුරාදා (11 වැනිදා) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
(ඡායාරූප - හිමත් මතීෂ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.