Last Update  :  2026-02-26 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රට නියෝජනය කිරීම අභිමානයක් වගේම බරක්

රට නියෝජනය කිරීම අභිමානයක් වගේම බරක්

editorial - 2026 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්තය හමුවේ පරාජය වීමෙන් පසුව ඇවිළී තිබෙන ප්‍රේක්‍ෂක කෝපාග්නිය පිළිබඳ අදහස් දක්වන කුමාර් සංගක්කාර, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හරි මඟකට ගැනීමට නම් තව බොහෝ දේ කළ යුතු බව පවසයි. එම වෙනස්කම් ක්‍රිකට් ක්‍රීඩාවේදී මෙන්ම පරිපාලනයේදීත් සිදුවිය යුතු බව සංගක්කාරගේ පණිවුඩයෙන් කියැවෙයි. 
 
වසර 2009 දී සහ 2011 දී ලෝක කුසලාන තරගාවලි දෙකක (විස්සයි-20 සහ එක්දින) අවසන් මහ තරග දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගිය හිටපු නායකයා, ‘එක්ස්’ පණිවුඩයක් තබමින් කියා සිටින්නේ තමන්ගේ රට වගේම රටේම ජනතාව නියෝජනය කරන්නට ලැබීම විශාල අභිමානයක් වගේම මහ බරක් බවත්, වගකීම තියෙන්නේ පිට්ටනියෙදි බවත්ය. 
 
බදාදා (25 වැනිදා) පැවැති සුපිරි 8 වටයේදී තරගයේදී නවසීලන්තය හමුවේ ලද ලකුණු 63 ක පරාජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවිය. 
 
සංගක්කාරගේ ප්‍රකාශය සෘජුවම එල්ල වන්නේ ක්‍රීඩකයන් වෙතය. හිටපු නායකයා අදහස් කරන්නේ රට, ජාතිය නියෝජනය කිරීමේදී ක්‍රීඩකයන් වශයෙන් පිටියේදී වගකීම බාරගැනීම ක්‍රීඩකයන්ගේ කාර්යයක් බවයි.  
 
අන්තර්ජාතික මට්ටමේදී ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් වෙනස් වෙමින් පවතින බවත් එම තත්ත්වයන්ට අනුගතවීම වහාම කළ යුතු බවත් සංගක්කාර සිය එක්ස් පණිවුඩයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි. 
 
“හැම තැනම පේන්න තියෙන්නේ වේදනාව. ක්‍රිකට් ලෝලීන් කළකිරිලා. ඔවුන්ට එපාවෙලා. ඔවුන් කෝපයට පත්වෙලා. ඒ වගේම ක්‍රීඩකයන්ටත් මේ වේදනාව දැනෙනවා. මමත් ඔය වගේ අවස්ථාවල ක්‍රීඩකයන්ගේ කාමරයේ ඉඳලා තියෙන නිසා මා දන්නවා ඒක මුහුණ දෙන්න ඒ තරම් පහසු තත්ත්වයක් නෙමේ. ඒත් වගකීම තියෙන්නේ පිට්ටනියෙදි. තමන්ගේ රට වගේම රටේම ජනතාව නියෝජනය කරන්නට ලැබීම විශාල අභිමානයක් වගේම මහ බරක්”
 
“මේ ක්‍රීඩාව හරි පාරකට ගන්න තව හුඟාක් දේවල් කරන්න තියෙනවා. පිට්ටනියෙදි විතරක් නෙමේ, පිට්ටනියෙන් පිටතත් කරන්න බොහෝ දේවල් තියෙනවා. ඒත් අපි එකම දේ දිගින් දිගටම කරලා, වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. අප වටා තියෙන ක්‍රිකට් ලෝකය ඉතාම ඉක්මනින් වෙනස් වෙලා. අපි ඒ තත්ත්වයට අනුගත වෙලා නෑ. ඒ නිසා මේ වගේ ප්‍රතිඵල අරුමයක් නෙමේ” යයි සංගක්කාරගේ එක්ස් පණිවුඩයේ සටහන් වේ. 
 
ඡායාරූපය - ප්‍රංශ පුවත් සේවය

අදහස් (0)

රට නියෝජනය කිරීම අභිමානයක් වගේම බරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.