Last Update  :  2026-03-27 19:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මේසපන්දු ත්‍රිපුද්ගල අතුරු කමිටුවක්

මේසපන්දු ත්‍රිපුද්ගල අතුරු කමිටුවක්

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේසපන්දු ක්‍රීඩාවේ පරිපාලන කටයුතු පවත්වාගෙන යෑම සඳහා නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ. එම කමිටුවේ සහායට මේසපන්දු ක්‍රීඩාවට සම්බන්ධ නිලධාරීන්ගෙන් සැදුම්ලත් තාක්ෂණික කමිටුවක් පත්කිරීමටද අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස්දී ඇතැයි එහිදී වැඩි දුරටත් වාර්තා වේ.

අපක්ෂපාති ලෙස ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නිලවරණය පැවැත්වීම අතුරු පාලක කමිටුවට පැවරෙන ප්‍රධානතම වගකීම බවත්, ඉදිරි සතිය ඇතුළත එම කමිටුවේ නිලධාරීන් තිදෙනා නම් කිරීමට නියමිත බවත් ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්, ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ වත්මන් නිලධාරීන්, හිටපු නිලධාරීන්, ක්‍රීඩකයන් සහ හිටපු ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වයෙන් අද (18 වැනිදා) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමකදී ක්‍රීඩා අමාත්‍යවරයා මෙම තීරණය දැනුම් දී තිබේ.

වාර්තා වන පරිදි අතුරු කමිටුවේ සහයට පත්කිරීමට නියමිත තාක්ෂණික කමිටුවට මේසපන්දු සංගමයේ හිටපු සභාපතිවරයකුගේ, උප සභාපතිවරියකගේ සහ මේසපන්දු ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරිණියකගේ නම් යෝජනා වී තිබේ. ඉදිරියේදී තවත් නම් කිහිපයක් ඊට ඇතුළත්වීමට නියමිත බවද වාර්තා වේ.

අද පැවැති රැස්වීමේදී ජ්‍යෙෂ්ඨ මේසපන්දු ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ වත්මන් පරිපාලනය දැඩි ලෙස විවේචනයට ලක්කරමින් අදහස් දැක්වූ බවද, ඇගේ චෝදනා වලට පිළිතුරු දීම සඳහා සංගමයේ කිසිදු නිලධාරීයෙක් ඉදිරිපත් නොවූ බවද රැස්වීමට සහභාගි වූ අයෙක් ‘ලංකාදීප’යට කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපතිවරයාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ සංගමයක් වශයෙන් ගත් සියලු තීන්දු, තීරණ වලට සාධාරණ හේතු තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති අය එල්ල කරන විවේචනවලට පිළිතුරු දීමට තමා සූදානම් නැති බවත්ය.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම තීරණයත් සමග නිලවරණ කමිටුවක් පත්කර ගැනීම සඳහා මේ මස 28 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබූ විශේෂ මහ සභා රැස්වීම අවලංගු කිරීමට ශ්‍රී ලංකා මේසපන්දු සංගමයට සිදුවනු ඇතැයිද ආරංචි මාර්ග පවසයි.

 


අදහස් (0)

මේසපන්දු ත්‍රිපුද්ගල අතුරු කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.