Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැරඩෝනා එනතුරු පූමාස්ලා බලා සිටිති

මැරඩෝනා එනතුරු පූමාස්ලා බලා සිටිති

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ආජන්ටිනාවේ පූමාස්ලාට පොරොන්දු වූ ලෙස ලෝක කුසලාන රග්බි තරගමාලාවේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දී සිය රටෙහි ජයග‍්‍රහණය වෙනුවෙන් දිරිගැන්වීමට එරට හිටපු විශිෂ්ට පාපන්දු කී‍්‍රඩක ඩියාගෝ මැරඩෝනා ලන්ඩනයට පැමිණෙන තුරු පූමාස්ලා තවමත් මග බලා සිටිති. මෙම තරගය  ඕස්ටේ‍්‍රලියානු වොලබීස්ලාට සහ පූමාස්ලා අතර අද (25) ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේ පැවැත්වේ.

තරගය ආරම්භ වන්නේ ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් රාතී‍්‍ර 9.30 ටය.

මැරඩෝනාට පෙර එංගලන්තයේ හිටපු විශිෂ්ට රග්බි කී‍්‍රඩකයකුු වන ජොනී විල්කින්සන් පූමාස්ලාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජයඝෝෂා නැගිමට ලන්ඩනයට පැමිණ සිටින අතර දැනටමත් ඔවුන්ගේ විශාලතම තුරුම්පුව වන නිකොලස් සැන්චේස්ට ඉතා වැදගත් උපදෙස් රැසක් දී ඇතැයි සෙසු සගයෝ කියති.

ආජන්ටිනාවේ නිකොලස් සැන්චෙස් මෙන්ම ජොනී විල්කින්සන්ද එංගලන්ත පිලේ හිටපු ෆුල් බෑක් කී‍්‍රඩකයාය.

මැරඩෝනාගේ සහ විල්කින්සන්ගේ දිරිගැන්වීමෙන් ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ පළමුවරට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අරමුණින් යුතුව අද තරගයට එක්වීම පූමාස්ලා එකම සිහිනය බවට පත්වී තිබේ.

පූමාස්ලාගේ බල කඳවුරේ තත්ත්වය එසේ වෙද්දී ඊට නොදෙවැනි ආකාරයේ දිරිගැන්වීමක් ලැබීමේ අටියෙන් සිය රටෙහි පාපන්දු වීරයන්ටත් මෙම තරගය නැරැඹීමට එක්වෙන ලෙස වොලබීස්ලා ඊයේ පෙරේදා සිට ආරාධනා කරන්නට පටන්ගෙන තිබේ.

මැරඩෝනා ඔහුටම ආවේනික හැසිරීම් රටාවකින් යුතු කී‍්‍රඩකයකු ලෙසින් පිටියේ දී දක්වන ආකර්ශනීය නර්තනයන් ඕස්ටේ‍්‍රලියානු පාපන්දු කී‍්‍රඩකයන්ට දැක්වීමට නොහැකි වුවත් ඔවුන්ගේ පැමිණීම තම කණ්ඩායමට විශාල දිරිගැන්වීමක් වනු ඇතැයි වොලබීස්ලා කියති.

වොලබීස්ලාගේ පුහුණුකරු මයිකල් චීකා රවුම් පන්දුවෙන් දස්කම් දක්වන එරට කී‍්‍රඩකයන්ට වොලබීස්ලාගේ විවේකාගාරයේ දොරටු හැර දැමීමට තීරණය කළේ සිය ගෝලබාලයන්ගේ බලවත් ඉල්ලීම නිසාය.

එය හිස් මුදුනින්ම පිළිගත්  ඕස්ටේ‍්‍රලියානු පාපන්දු පිලේ නායක මයිල් ජෙඩිනක් වොලබීස්ලාගේ පුහුණු සැසියක් නැරැුඹීමට ලන්ඩනයට පැමිණි අතර හිටපු දැල් රකින්නකු වන මාක් ෂ්වාසර් ද ඔවුන්ගේ විවේකාගාරයේ දැන් නිතර නිතර ගැවසීමට පටන් ගෙන සිටී.

ආජන්ටිනාවේ ජාතික වීරයකු බඳු මැරඩෝනාගේ පැමිණීමත්, තරගයට පෙර ඔහුගේ දිරිගැන්වීමේ වදන් කිහිපයක් අසා ගැනීමටත් පූමාස්ලා පුල පුලා බලා සිටිති. තරගයට ඇත්තේ හෝරා කිහිපයකි. එහෙත් මැරඩෝනා තවම නැත.


 


අදහස් (0)

මැරඩෝනා එනතුරු පූමාස්ලා බලා සිටිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.