Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැක්ස්වෙල් තනි අතින් ජය උදුරාගනී
පළමු එක්දින තරගය

මැක්ස්වෙල් තනි අතින් ජය උදුරාගනී

editorial - 2022 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට..)

 

ඉදිරිපෙළ ප්‍රහාරකයකු වන ග්ලෙන් මැක්ස්වෙල් පිතිකරු ලයිස්තුවේ අංක 7 දක්වා තල්ලු කළ ඕස්ටේලියානුවෝ ඔහුගෙන් උපරිම ප්‍රයෝජන ලබාගනිමින් පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති පළමු වැනි එක්දින තරගයේදී කඩුලු දෙකක ජයක් ලබාගත්හ. මුලදී ලකුණු 301 ක ඉලක්කයක් කරා ගිය නමුත් වර්ෂාව හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ගේ ඉලක්කය ඕවර 44 කදී ලකුණු 282 ක් ලෙසින් වෙනස් කරන ලදි.

එතැන් සිට ඕස්ටේ්‍රලියානුවන් ගියේ ලකුණු වේගය වැඩිකර ගැනීමේ අරමුණ ඇතිවය.
මේ අතරවාරයේදී කඩුලු කිහිපයක් බිඳ වැටුණ නමුත්, තමන්ගේ අරමුණ නිශ්චලව තබාගත් ඕස්ට්‍රේලියානුවෝ අවසර ලත් ඇසිල්ලේම පන්දුව පිටියේ සීමාවෙන් පිටතට යැවීය.

ප්‍රහාරාත්මක පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් ලයිස්තුවේ අංක 7 දක්වා පහළට තල්ලු කර තැබුවේ අවශ්‍ය වුවහොත් පහළින් ප්‍රහාරය ආරම්භ කළ හැකිවන ආකාරයෙනි.

ශ්‍රී ලාංකික පන්දු යවන්නන් දුටු තැන පහර දීමේ පුරුද්දක් ඇති ග්ලෙන් මැක්ස්වෙල් තරගය අවසන් කළේ දුෂ්මන්ත චමීරගේ පන්දු දෙකකට පිට පිටම හයේ පහර දෙකකින් සංග්‍රහ කරමිනි. එම හයේ පහර දෙකත් සමගින්, ග්ලෙන් මැක්ස්වෙල්, පන්දු 56 කදී ලබාගත් ලකුණු 80 ට හතරේ පහර 6 ක් සහ හයේ පහර 6 ක් ඇතුළත් වී තිබිණ. වෙනත් අකාරයකින් කියන්නේ නම්, මැක්ස්වෙල්ගේ ලකුණු 80 න්  ලකුණු 60කම හයේ සහ හතරේ පහර වලිනි.
 
කෝඩුකාර දුනිත් වෙල්ලාලගේ කඩුලු දෙකක්ද, වනිඳු හසරංග කඩුලු 4 ක්ද දවාගත් නමුත්, සංවිධානාත්මක ප්‍රහාරයක් කළ ඕස්ට්‍රේලියානුවෝ, හතරේ පහර 22 කින් සහ හයේ පහර 9 කින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සංග්‍රහ කළහ.

ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත ඕවර 50 නිමා වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 300 ක් ලබා ගත්තේ ඕස්ට්‍රේලියානුවන් යැවූ අවසන් ඕවර 10 දී ලකුණු 86 ක් උදුරාගනිමිනි.  වසර දෙකකට පසුව, සිය පළමු එක්දින අර්ධ ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 86 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත්විය.

ශ්‍රී ලංකා ඉනිම නිමාවීමට ඕවරයක් ඉතිරිව තිබියදී, පල්ලෙකැළේ නරඹන්නන් අමන්දානන්දයට පත්කළ වනිඳු හසරංග, චිත්තාකර්ශනීය පහර වැලකින්, ජායි රිචඩ්සන් යැවූ පිට පිට පන්දු 5 ක්ම හතරේ සීමාවෙන් ඔබ්බට යැවීය. කුසල් මෙන්ඩිස් සමගින් එක්වූ වනිඳු හසරංග, 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක් එක් කිරීමට වැය කළේ පන්දු 25 කි.

වසර හයකට ඉහතදී, ඕස්ට්‍රේලියානු පිලේ අවසන් ශ්‍රී ලංකා සංචාරයේදී, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීම අති විශිෂ්ට ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් එදා ලකුණු 176 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. එදා එම ඉනිමේ ගැසූ පහර කීපයක්ම යළි ප්‍රදර්ශනය කළ මෙන්ඩිස්, පල්ලෙකැළේ ක්‍රීඩා ලෝලීන් හමුවේ යළි උපත ලැබීය.

කුසල් මෙන්ඩිස්ගේ පන්දු 87 ක අපරාජිත ඉනිම අත්‍යලංකාර හතරේ පහර 8 කින් සහ හයේ පහරක්ින් සමන්විත විය. පසුගිය කාලයේ දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් ප්‍රවේසමන් සිය ඉනිම ආරම්භ කළ දකුණත් පිතිකරුවා, පළමු ලකුණු 25 වෙනුවෙන් පන්දු 38 ක් වැය කළේය. ඔහු අර්ධ ශතකය සම්පූර්ණ කළේ පන්දු 59 කිනි. එහෙත් එතැන් සිටි ශ්‍රී ලංකා ඉනිමෙ අවසානය අතර කාලයේදී පන්දු 28 කින් ලකුණු 36 ක් ලබාගත්තේ පසුපෙළ ප්‍රහාරකයන්ට වැඩි අවස්ථාව දෙමිනි.

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 115 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 03 ක් ඇතුළත පිටියෙන් ඉවත් වූහ. එහෙත් එතැන් සිට එක්වූ කුසල් මෙන්ඩිස් (නොදැවී 50) සහ චරිත් අසලංක (37) දෙදෙනා ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ.

අවස්ථා කිහිපයකදීම නරඹන්නන්ගේ හිසකේ කෙළින් කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වූ නමුත් ඒවායින් ගැලවුණු ධනුෂ්ක ගුණතිලක  සහ පැතුම් නිස්සංක දෙදෙනා,  එක ළඟ පන්දු දෙකකදී අර්ධ ශතක පසුකර ගියද, ලකුණු 3 ක් ඇතුළත දෙදෙනාම දැවී ගියහ.

මාකස් ස්ටොයිනිස්ගේ අගනා පන්දු පිරිනැමීමකින් ධනුෂ්ක ගුණතිලක දුවද්දී දැවී යාමට පෙර පන්දු 53 කට මුහුණ දෙමින් හතරේ පහර 7 කින් සිය ඉනිම සැරසීය. පැතුම් නිස්සංක දැවී ගියේ රිවර්ස් ස්වීප් පහරකින් ඉහළ ගිය පන්දුව ෂෝට් තර්ඩ් මෑන්හි සිටි ඕස්ට්‍රේලියානු නායකයා විසින් රැකගනු ලැබීමෙනි.

අද තරගයේදී දුනිත් වෙල්ලාලගේ එක්දින හිස්වැස්ම දිනාගත් අතර ඔහුගේ හිස්වැස්ම පිරිනමන ලද්දේ වනිඳු හසරංග විසිනි.


අදහස් (0)

මැක්ස්වෙල් තනි අතින් ජය උදුරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.